
විෂබීජයක් අඩංගු බවට අනාවරණය වීම හේතුවෙන් වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා ලබාදෙන ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නැමැති එන්නත රෝහල්වලින් ඉවත් කිරීමට පෙර එන්නත් 220,000ක් පමණ භාවිතයට ගෙන ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ අදාළ එන්නත් 270,000ක් මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය සිකුරාදා (12) දිනයේ සිට එම එන්නත් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවය.
වමනය සහ ක්ලාන්තය පාලනය කිරීමට රෝගීන් සඳහා ලබාදෙන ඔන්ඩන්සෙට්රෝන් නැමැති එන්නතේ විෂබීජයක් පවතින බවට මහනුවර මහරෝහලේ වෛද්‍යවරුන් විසින් පසුගියදා පළමුවරට වාර්තා කර තිබුණි.
පසුව ඒ සම්බන්ධයෙන් තවත් රෝහල් කිහිපයකින් වාර්තා වීමත් සමග එම එන්නතේ කාණ්ඩ 4ක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.
අදාළ එන්නත ලබාදුන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
අදාළ එන්නත සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන පරීක්ෂණවලට අමතරව වෛද්‍ය පර්යේෂණායතනයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඉන්දියානු සමාගමකින් මෙරටට ආනයනය කර ඇති අදාළ එන්නත සම්බන්ධයෙන් දින 28ක් ඇතුළත පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස එම නිෂ්පාදකයාට ද දැනුම් දී තිබේ.




