
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්වය අවම කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමට රජය අපොහොසත් වීම තුළින් මහජනතාවගේ සහ තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් සහ ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරු කියා සිටින්නේ මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටි සිය නීතිඥ කාර්යාලය පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ බවයි. මේ හේතුවෙන් සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශ වී ඇති බවත්, එය සිය වෘත්තීය කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
ආපදා තත්වයක් ඇති වීමට පෙර ගත යුතු පූර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් දැක්වූ නොසැලකිලිමත්භාවය සහ රාජකාරිය පැහැර හැරීම මෙම දැවැන්ත විනාශයට සෘජුවම බලපා ඇති බව පෙත්සම්කරු අවධාරණය කරයි. රජය නිසි පූර්ව සූදානමකින් කටයුතු කළේ නම් සිදුවූ හානිය අවම කරගැනීමට අවස්ථාව තිබූ බව පෙත්සමෙහි සඳහන් වේ.
විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදාහැරීමට පෙර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේ නම්, ගම්පොළ ගලහ පේරාදෙණිය මහනුවර සිදු වූ දැවැන්ත ජල ගැලීම් හා හානි වළක්වා ගැනීමට හෝ අවම කරගැනීමට හැකියාව තිබූ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටී.
වගඋත්තරකරුවන්ගේ මෙම නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බැවින්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී




