
ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය මේ වන විට සලකා බලමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ඉහළ ගොස් ඇති ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිලෙහි බර ජනතාව මත පැටවීමකින් තොරව සහනාධාරයක් ලබා දීමට රජය විසින් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවය.
ඒ අනුව මේ සඳහා භාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් කොටසක් යොදවා ඉහළ යමින් පවතින ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේ වෙතත් එම සහනාධාරය කොපමණද යන්න මෙතෙක් තීරණය කර නැතැයිද පැවසූ අමාත්‍යවරයා රජය සෑම විටම ලෝක වෙළෙඳපොළේ වැඩිවන ප්‍රමාණයම ජනතාව මත පැටවීමකින් තොරව යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
“යළිත් වටයකින් මේ තෙල් මිල වැඩිවීම පිළිබඳව අපි සලකා බලමින් ඉන්නවා සමස්ත බරම ජනතාව මත පටවන්නේ නැතිව යම් සහනාධාරයක් රජයට ලබා දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙන මුකුත් නෙමෙයි භාණ්ඩාගාරයේ තිබෙන මුදල්වලින් කොටසක් මේ වෙනුවෙන් යොදවලා ඒ බර රජය අරගෙන ඉතුරු කොටස කළමනාකරණය කරගන්න. ඒ මුදල කොතරම් ද කියලා රජයක් විදිහට තාම තීරණය කරලා නෑ. රජය හැමතිස්සෙම බලනවා මේ සමස්ත බර ලෝක වෙළෙඳපොලේ වැඩිවෙන ප්‍රමාණයම ජනතාව මත පටවනවා වෙනුවට යම් සහනයක් ජනතාවට භාණ්ඩාගාරයෙන් ජනතාවට ලබා දෙන්න පුළුවන්ද කියන එක. ඒක සියලු භාණ්ඩ හා සේවාවල මිල යම් මට්ටමක පවත්වා ගනිමින් කරගෙන යාමට උදව් උපකාර වේවි.”




