
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයකට අනිසි වෙබ් ලිපිනයක් එක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම වරද හුදු අතපසුවීමකට වඩා සංවිධානාත්මක කුමන්ත්රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකකෙරේ.
ඒ පිළිබඳව ලද තොරතුරු මත පදනම්ව, රජයේ බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
මෙම මතභේදාත්මක ප්රකාශනය සකස් කිරීමේ වගකීම දැරූ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් දස දෙනෙකුගෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසිය සූදානම් වේ.
මෙම පිරිස අතරට අදාළ මොඩියුලයන්හි රචකයන් මෙන්ම ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට සිටි අධීක්ෂණ නිලධාරීන් ද ඇතුළත් වේ.
සිද්ධියට අදාළ මූලික තොරතුරු රැස්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ සිටිති.
එහිදී ඔවුන් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස හමුවී කරුණු විමසා ඇත.
මීට අමතරව, පොලිස් පරීක්ෂණවලට සමාන්තරව අධ්‍යාපන අමාත්‍යාංශය ද අභ්‍යන්තර විනය පරීක්ෂණයක් වෙනමම ආරම්භ කර ඇති බව වාර්තා වේ.




