
සමස්ත බන්ධනාගාර පද්ධතියේ සියයට තුන් සියය (300%) තදබදයක් නිර්මාණය වී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (20දා) මැති සබයේදී පැවසීය.

බන්ධනාගාර තුළ රැඳවියන් තිස් හත් දහස් හත්සිය හැට එක් දෙනකු සිටියත් ඉන් විසිහත්දහසක්ම සැකකරුවන් බවත් ඇමැතිවරයා කීය.
බන්ධනාගාර තදබදයට මූලික වී ඇත්තේ මත්ද්‍රව්‍ය සඳහා රිමාන්ඩ් ගත වූ අය වැඩිවීම බවත් දඩ මුදල් ගෙවීම් නිසා බන්ධනාගාර තදබදය අඩුවෙන්නේ නැති බවත් ඇමැතිවරයා කීය. මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවියන් විසිහත් දහසක් පමණ වන බවත් හෙතෙම කීය.
මේ සඳහා විසඳුම් තිබෙන්නේ සිය අමාත්‍යාංශයට බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තා ලබාදීම කඩිනම් කර තිබෙන බවත් කී ඇමැතිවරයා රසපරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා 50 දෙනකු බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන තිබෙන බවත් කීය. ඒ පනස්දෙනාට අමතරව තවත් තිස් දෙදෙනකු බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.
රසපරීක්ෂක වාර්තා ලබාදීම කඩිනම් නොකර ඇප ලබාදීම කඩිනම් කිරීමට නොහැකි බවත් ඒවා ලබාදී බන්ධනාගාර රැඳවියන් අඩු කරන්න කටයුතු කිරීම සිදුකරන බවත් හෙතෙම පැවසීය.
රිමාන්ඩ් බන්ධනාගාරව සිටින විසිහත් දහසක් පමණ පුනරුත්ථාපනය කළ නොහැකි බවත් අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවැති පුනරුත්තාපන කාර්යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබෙන බවත් ඇමැතිවරයා කීය. මේ වනවිට අමාත්‍යාංශ දෙකම එකතු වී පුනරුත්ථාපන කටයුතු සිදුකරමින් පවතින බවත් ඇමැතිවරයා කීය.
රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ සමග ඇතැම් දිනවල 700ක් පමණ දෙනා අත්අඩංගුවට පත්වන බවත් බහුතර දෙනා ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කරන බවත් හෙතෙම කීය. පුනරුත්ථාපනයට අවශ්‍ය මුදල් පවතින බවත් අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළකර ඇති බවත් ඇමැතිවරයා කීය.
ඇමැතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකළේ ඊයේ (20දා) පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
මන්ත්‍රිවරිය විසින් අම්පාර බන්ධනාගාරයේ කොපමණ පිරිසක් රඳවා ඇති ද යන්න කළ ප්‍රශ්න කිරීමේදී රැඳවිය හැකි සංඛ්‍යාව 699ක් බවත් 2026 ජනවාරි 04 කාන්තා රැඳවියන් 107 දෙනකු පිරිමි රැඳවියන් 2139 දෙනකු වශයෙන් 2246 දෙනකු රඳවා සිටින බවත් ඇමැතිවරයා කීය.
අපේ රටේ බන්ධනාගාරගතව තිස්හත් දහසක් (37,000) පමණ සිටින බවත් ඉන් තිස් දහසක් (30,000) මත්ද්‍රව්‍ය සිද්ධීන්ට අදාළ රැඳවියන් බවත් ඔවුන් පුනරුත්ථාපනය ඉතා වැදගත් බවත් කිරිඇල්ල මන්ත්‍රිවරිය මෙහිදී කීවාය. 2025 වසරේදී පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කළත් මූල්‍ය ප්‍රගතිය සියයට එකක්ව පැවැති බවත් ඇය පැවසුවාය. 2026 වසරේ පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 10ක් වෙන්කර තිබෙන බවත් ඒ අනුව එක් රැඳවියකු වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් 300ක් බවත් ඇය කීවාය. මෙම මුදල ප්‍රමාණවත් නැති බවත් එය වැඩි කරන ලෙසත් මන්ත්‍රිවරිය ඇමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.




