
තවත් දින කිහිපයකින් ආරම්භවන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යෑම පිළිබඳ අවසන් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) අද (22) පස්වරුවේ දැනුම්දී තිබේ.

සිය අවසන් තීරණය දැනුම්දීම සඳහා ICCය විසින් බංග්ලාදේශයට පැය 24ක කාලයක් ලබාදී තිබුණි.
ඒ අනුව ඔවුන් ඉන්දියාවේ දී T20 ලෝක කුසලානය ක්‍රීඩා නොකරන බවට පෙර සිටි දැඩි තීරණයේ එලෙසින්ම සිටින බව ICCයට දැනුම්දී ඇත.
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB), බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ රජයේ ක්‍රීඩා උපදේශකවරයා අතර ඩකා නුවරදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
බංග්ලාදේශය තම T20 ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඉල්ලා සිටින අතර, එම ඉල්ලීමම නැවතත් ICCය වෙත දැනුම්දී ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී BCB සභාපති අමිනුල් ඉස්ලාම් මහතා පවසා ඇත්තේ, ICCය විසින් පැය 24ක කාල සීමාවක් දී ඇති බවට තමන්ට දැනුම් දුන් නමුත්, එවැනි අවසාන කාල සීමා නිකුත් කිරීම ගෝලීය ක්‍රීඩා ආයතනයකට නොගැළපෙන ක්‍රියාවක් බවය.
“ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමේ අපේ සැලසුම නැවතත් ICCය වෙත ඉදිරිපත් කරනවා. පැය 24ක කාලයක් දීලා තියෙනවා කියලා කිව්වත්, ගෝලීය ආයතනයකට එහෙම කරන්න බෑ.
බංග්ලාදේශය ඉවත් වුණොත් ලෝක කුසලාන නැරඹීමට සිටින මිලියන 200කට අධික ජනතාවක් ICCට අහිමි වෙනවා. ඒක ICCට පාඩුවක්” යනුවෙන් ඔහු පවසා ඇත.
එමෙන්ම, ICCය විසින් ශ්‍රී ලංකාව සම සත්කාරකයින් ලෙස හඳුන්වන බවත්, එය නිවැරදි නොවන බවත් ඔහු පෙන්වා දී තිබේ.
“ශ්‍රී ලංකාව සම-සත්කාරකයින් නොවේ. මේක දෙමුහුන් ආකෘතියක්. ICC රැස්වීමේදී අහන්න ලැබුණු ඇතැම් නිසා ඇත්තටම අපි කම්පනයට පත්වුණා” යනුවෙන්ද BCB සභාපතිවරයා පවසා ඇත.
මේ අතර බංග්ලාදේශ රජයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් මහතා පවසා ඇත්තේ, සිය තරග ශ්‍රී ලංකාවේදී තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.
“අපිට ICC එකෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවට නොයන්න කියලා තීරණය කරලා තියෙන්නේ අපේ රජයයි” යනුවෙන් ඔහු පැවසීය.
කෙසේ වෙතත් ඊයේ (21) පැවති ICC මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ICC විසින් බංග්ලාදේශය ඉදිරිපත් කළ ආරක්ෂක ගැටලු ප්‍රතික්ෂේප කළේය.
ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට එකඟ නොවී සිටියහොත් ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කර වෙනත් කණ්ඩායමක් ආදේශ කරන බවට අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇත.




