
ගණේමුල්ල සංජීව හෙවත් සංජීව සමරරත්න නමැති පාතාල කල්ලි නායකයා කොළඹ මහෙස්ත්රාත් අධිකරණ ශාලාවක් තුළදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට රඳවාගෙන ප්රශ්න කරන තමාරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දෙකහමාරක් වටිනා හොන්ඩා වෙසල් වාහනය වෙනත් අයකුගේ නමින් ලියාපදිංචි කොට තිබුණද එය සැකකාර නීතිඥවරියට අයත් වාහනයක් බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05දා) කොළඹ ප්රධාන මහෙස්ත්රාත්වරයාට දැනුම් දුන්නේය.

සැකකාරිය එකී සුඛෝපභෝගී වාහනය මිලදී ගෙන ඇත්තේ කෙලෙස උපයාගත් මුදලින් දැයි මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකිවී නොමැති බවත්, එම මුදල් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට සැකකාරිය අසමත්වී ඇති බවත් පෙන්වා දුන් විමර්ශන නිලධාරීහු වාහනයේ හිමිකරු යැයි කියන පුද්ගලයාගෙන් ප්රශ්න කිරීමේදී සැකකාර නීතිඥවරිය එම වාහනය මිලදීගෙන ඇත්තේ ඇගේ මුදලින් බවට ඔහු ප්රකාශයක් ලබාදී ඇති බවද කීහ. එමෙන්ම එම සැකකාරිය රඳවාගෙන ප්රශ්න කිරීමට ලබාගත් මාස තුනක රැඳවුම් නියෝගය මේ වනවිට අවසන්වීම නිසා තවත් දින 90කට රැඳවුම් නියෝගය දීර්ඝකර ඇතයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
එම ඝාතන සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින උදිත් උදයශාන්ත නමැති පොලිස් පරීක්ෂකවරයා ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද ප්රධාන මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.




