
“දිට්වා” සුළිකුණාටුව වෙලා දැන් මාස 2කට වැඩියි. මුළු රටම යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන වෙලාවේ ලංකා විදුලිබල මණ්ඩලය තමන්ගේ වගකීම හරියට ඉටු නොකිරීම නිසා ගලහ, දෙල්තොට, නවනැලිය ගමේ මවකට හා දියණියකට ජීවිතවලින් වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙනවා. අනාරක්ෂිත විදුලි රැහැන් ඉවත්කරලා දෙන්න කියලා විදුලිබල මණ්ඩලයට කීප අවස්ථාවකදීම දැනුම් දුන්නත් ඒ අය ගණන් ගත්තේ නැහැ”… යැයි ප්රදේශවාසියෙක් ඉතා ආවේගශීලීව මාධ්‍ය හමුවේ පැවසීය.

ගලහ, දෙල්තොට, නවනැලිය ප්‍රදේශයේ මවක හා 14 හැවිරිදි දියණියක අනාරක්ෂිත විදුලි රැහැනක පා ගැටී මියයෑමේ ශෝකජනක පුවත ගැන විමසූ අවස්ථාවේ ඔහු එසේ කීය.
එම ප්‍රදේශයේ දිවි ගෙවූ ශාන්ති කුමාරි නමැති මව හා උදයංගනී කුමාරි නමැති දියණිය 7 වැනිදා උදෑසන 10.00ට පමණ නිවස අසල තිබූ වත්තට ගොස් තිබුණේ කරපිංචා කැඩීම සඳහාය. තමන්ගේ ඒ තමන්ගේ අවසන් ගමන බව ඔවුන් කිසිවිටෙකවත් නොසිතන්නට ඇත. ජීවිතයේ අනියත බව පසක් කරමින් කරපිංචා ගස පාමුල තිබූ විදුලි රැහැනක ශාන්ති කුමාරිගේ හා දියණියගේ පා ගැටී ඇති අතර, එහිදී ඔවුන්ට විදුලි සර වැදී තිබේ. එම සිද්ධිය දැක ඇති ප්රදේශවාසියකු මව හා දියණිය වහාම දෙල්තොට ප්‍රාදේශීය රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් ඔවුන් මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් ගලහ ප්‍රදේශයම එකම මළගමක් බවට පත් වී තිබේ. දැඩි කම්පාවට පත්ව සිටින එම පවුලේ පියා මෙසේ කීය.
විදුලිබල මණ්ඩලයට කිව්වා අපිට කරන්ට් එක එපා. ඕවා අරගෙන පලයල්ල කියලා. ඒ කියලත් උන් ඒවා අයින් කෙරුවේ නැහැ. මේ කරන්ට් වයර් අයින් කළා නම් මගේ නෝනටයි දුවටයි මෙහෙම වෙන්නේ නෑ. අනේ මගේ චූටි දුව…!
එහිදී ප්රදේශවාසියෙක් මෙසේ පැවසීය.
කරපිංචා කඩන්න ගිය දුවට තමයි ඉස්සෙල්ලා කරන්ට් එක වැදිලා තිබුණේ. ඊට පස්සේ තමයි අම්මට වැදිලා තිබුණේ. අම්මයි දුවයි කම්බිය උඩට වැටිලා හිටියා. දුව සිටි තැනට උණලීයක් යවලා වේල්ලෙන් පල්ලට අරගත්තා. ඊට පස්සේ අම්මා කිව්වා අනේ පුතේ මාව කොහොම හරි ලණුවක් දාලා හරි බේරාගන්න කියලා. එතකොටත් ඒ වදුලි රැහැනේ කරන්ට් එක තිබුණා. පස්සෙ අම්මවත් වේල්ලෙන් පල්ලෙහාට ගත්තා. පස්සේ දෙන්නවම රෝහලට අරගෙන ගියා.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් සිය එක් දියණියක ද සමග ශාන්ති කුමාරි මහත්මිය මරණයට පත්වනුයේ එම පවුලේ තවත් දියණියන් තිදෙනකුට මව් සෙනෙහස අහිමි කරමිනි. එම දියණියන් තිදෙනාගේ විලාප හඬ අසන දකින කාගේත් හදවත් දැඩි කම්පාවට පත් වූහ.
සුළිකුණාටුවෙන් හානිවූ විදුලි රැහැන් නිසි පරිදි සකස් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර නොගැනීම හේතුවෙන් අනාරක්ෂිතව බිම වැටී තිබුණු විදුලි රැහැනක ගැටී මෙම මවගේ හා දියණියගේ මරණ සිදුවූ බවට ගලහ ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මියගිය දෙදෙනාගේ නිවසට ඉහළින් ඇති විදුලි කණුවක මෙම මරණ සිදුවීමට දින දෙකකට පෙර ගින්නක් හටගෙන ඇත. එහි තිබුණු විදුලි රැහැන් ද අනාරක්ෂිත ලෙස බැහැරකර ඇති බවට ජනතාව පවසති.
ප්රදේශවාසියකු වන එච්. නලින් මහතා මෙසේ පැවසීය.
“විදුලිබල මණ්ඩලයෙන් හරියට වැඩක් කළා නම් අද මේ විපත වෙන්නේ නැහැ. දිට්වා සුළි කුණාටුවෙන් ගස් කඩා වැටිලා තමයි කම්බි ටික කඩා වැටුණේ. එදා ඉඳලා මේ ප්රශ්නය විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නා. දවසක් එනවා. ඒ ඇවිල්ලා එක කම්බියක් හදනවා. කළු වයර් එකක් දැම්මා. අනිත් පැත්තේ ගෙවල්වලට කරන්ට් එක දුන්නේ කළු වයර් එකකින්. අනිත් කම්බි ටික බිම තියෙද්දී ඒ බිම දාලා තිබුණු කම්බි ටික අයින් කරලා තිබ්බා නම් අද මෙම විපත වෙන්නේ නැහැ. මාස 2ක් වෙනවා කණුව ගෙනල්ලා දාලා ගිහින්. මේ වෙනකම් ඒක හැදුවේ නැහැ.
එච්. කුමාර මහතා
තාමත් මේ කම්බි තියෙන්නෙ පාරේ. සුළි කුණාටුව ඇවිත් මාස 2කට වැඩියි. මුළු රටම යථා තත්ත්වයට පත් කරනවා නම් ඇයි විදුලිබල මණ්ඩලය විතරක් මේක අතපසු කරන්නේ. තවත් ජීවිත බිලිගන්න ඉස්සෙල්ලා මේ අඩුපාඩු ටික හදන්න. මේ විපතට පත් පවුල වෙනුවෙන් රජය සාධාරණය ඉටු කරන්න. මේ වැරැද්ද කළේ විදුලිබල මණ්ඩලයයි.
මෙම සිද්ධියේ අලුත් තත්ත්වය පිළිබඳව ඊයේ (08 දා) ගලහ පොලිසියේ උසස් නිලධාරියෙකු ගෙන් විමසූ අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ බවත්, ඒ අනුව ඊයේ ලංකා වදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බවත් පැවසීය.
මීට අමතරව ප්‍රදේශවාසීන් 6 දෙනකුගෙන් ද ප්‍රකාශ ලබාගත් බව ද මෙම සියලු කරුණු අද (09 දා) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන බව ද හෙතෙම කියා සිටියේය.
මේ පිළිබඳව ගලහ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.




