
පාස්කු ඉරිදා ප්රහාරවලදී ෂැන්ග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඊබ්‍රහිම් සහෝදරයන් දෙදෙනාගේ ඥාතීන් විසින් ගොනු කරන ලද පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට දුන් තීන්දුව මගින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හැක්කේ කාටදැයි ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කර තිබේ.

පෙත්සම් විභාගයට ගත් විට, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන්, මූලික විරෝධතාවක් මතු කරමින් තර්ක කළේ, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හෝ ඔවුන්ගේ නීතිඥයන් විසින් පෙත්සම් ගොනු කර නොමැති බැවින් ඒවා සළකා බැලිය නොහැකි බවය.
ඔහුගේ මූලික විරෝධතාව අධිකරණය විසින් තහවුරු කර පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලදී.
තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියා සිටින පුද්ගලයන්ගේ ඥාතීන්ට ඔවුන් වෙනුවෙන් පෙත්සම් ගොනු කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ 44(2) රීතියේ පැහැදිලිව සඳහන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තෙන්නකෝන් සිය මූලික විරෝධතාවයේදී පෙන්වා දී තිබිණි.
රඳවාගෙන සිටින පුද්ගලයකු වෙනුවෙන් නීතිඥවරයකුට පමණක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකි බව ඔහු සඳහන් කර තිබිණි.
පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඥාතීන්ට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ නොහැකි බැවින්, පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මූලික විරෝධතාව තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ, අගතියට පත් පාර්ශ්වයකට පෙත්සමක් ගොනු කිරීමට පොදු නීතියෙන් ඉඩ ලබා දෙන නමුත්, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ පෙත්සම් ගොනු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත විධිවිධාන ඇති බවයි.
ඒ අනුව, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ලියන ලද තීන්දුවේදී, මෙම නඩුවේදී මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට පෙත්සම්කරුවන්ට අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් අනුජ ප්‍රේමරත්න සහ ජනාධිපති නීතිඥ ඉෂාන් ගම්පලගේ පෙනී සිටියහ.




