
නොරොච්චෝල ලක්විජය බලාගාරය ඉදිකර ඇති ස්ථානය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, එහි වරායක් නොමැති වීම හේතුවෙන් ගල්අඟුරු ගොඩබෑමේදී දැඩි තාක්ෂණික හා ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉල්ලෙයාස් මහතා පවසයි.

දෙරණ “වාදපිටිය” වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
බලාගාරය පිහිටි ස්ථානයේ නැව් පැමිණීමට අවශ්‍ය වරායක් නොමැති බවත්, පවතින්නේ ඉතා නොගැඹුරු මුහුදු තීරයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් ලංකාවට ගල්අඟුරු ගෙන්විය හැක්කේ වාරකම් කාලය මඟහැර ඉතා සීමිත කාල වකවානුවක් තුළදී පමණක් බව ඔහු පැවසීය.
“දින පහෙන් පහට නැව් එනකොට උපරිම වශයෙන් නැව් 38ත් 44ත් අතර ප්‍රමාණයක් තමයි අපිට එක වාරයකදී ගෙන්වා ගත හැක්කේ. මෙහිදී එක නැවක් හෝ ප්‍රමාද වුවහොත් සමස්ත කාලසටහනම අවුල් වී අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගල්අඟුරු ප්‍රමිතිය බාල බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අක්රම් ඉල්ලෙයාස් මහතා, මෙතෙක් පැමිණි නැව් හයෙන් පහකම ප්‍රමිතිය 5900 GCV අගයට වඩා වැඩි මට්ටමක පැවති බවත්, ප්‍රමිතිය අඩු වී ඇත්තේ එක් නැවක පමණක් බවත් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර ගිවිසුම් අනුව නැවක කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට නම් නැව් දෙකක් අඛණ්ඩව ප්‍රමිතියෙන් තොර විය යුතු වුවද එවැනි තත්ත්වයක් උද්ගත වී නොමැති බව ඔහු පැහැදිලි කළේය.
2025/26 වසර සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කළ බවත්, ඉතිහාසයේ වැඩිම සමාගම් සංඛ්‍යාවක් වන සමාගම් 11ක් මේ සඳහා ඉදිරිපත් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කිසිදු අභියාචනයක් හෝ නීතිමය ගැටලුවක් මෙතෙක් මතු වී නොමැති බවත්, විපක්ෂය පදනම් විරහිත චෝදනා නගමින් ජනතාව බිය කිරීමට උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය




