
රටේ උද්ධමනය පාලනය වී බඩුමිල අඩු වීම හේතුවෙන් මෙතෙක් ඉහළ යමින් පැවති නිල දරිද්‍රතා රේඛාව පහළ බැස ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට පෙර රුපියල් 17,014ක් ලෙස පැවති නිල දරිද්‍රතා රේඛාව 2026 ජනවාරි මාසය වන විට රුපියල් 16,730ක් දක්වා අඩු වී ඇති බවයි.
මෙලෙස දරිද්‍රතා රේඛාව සඳහා අවශ්‍ය මුදල අඩු වීමෙන් අදහස් වන්නේ රටේ උද්ධමනය සහ මිල මට්ටම් පාලනය වී ඇති බව යැයි ද ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, පුද්ගලයෙකුගේ මසක ආදායම රුපියල් 16,730කට වඩා අඩු නම් පමණක් ඔහු දුප්පතෙකු ලෙස සලකන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය සමරසිංහ මහතා කියා සිටියේ, දරිද්‍රතා රේඛාවේ අගය අඩු වීමෙන් පෙනී යන්නේ රටේ දුප්පත්කම වැඩි වීමක් නොව දුප්පත්කමේ යම් අඩුවීමක් සිදුව ඇති බවයි.
මෙම දරිද්‍රතා රේඛාව දිස්ත්‍රික් මට්ටමින් වෙනස් වන බවත්, වැඩිම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් (රුපියල් 18,442) වාර්තා වන අතර ගම්පහ දිස්ත්‍රික්කය ද ඉහළ අගයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




