
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදුන් නම් ලැයිස්තුවට අනුව ගොවීන්ට අද (19) සිට ඉන්ධන නිකුත් කිරීමට ආරම්භ කර තිබේ.

දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ (සේවා) කොමසාරිස්, සුමිත් චන්දන මහතා මේ බව පැවසීය.
ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයට ලැබී ඇති ලැයිස්තු සියල්ල මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වෙත යවා ඇති බවද ඒ මහතා කියා සිටියේය.
මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල තදබදයක් ඇතිව තිබෙන බැවින් ගොවීන්ට ප්‍රමුඛතාවය ලබාදෙන්නැයි ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා ඇතැයිද සුමිත් චන්දන මහතා පැවසීය.
මේ වනවිට මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ කර ඇති ගොවීන්ට සහ යල කන්නය ආරම්භ කරමින් පවතින ගොවීන්ට අර්බුදයකින් තොරව ඉන්ධන ලබාගැනීමට ඉදිරියේදී හැකිවනු ඇතැයි ද සුමිත් චන්දන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“අස්වැන්න නෙළීමට හෝ බිම් කටයුතුවලට ඉන්ධන අවශ්‍යතාවයෙන් ඉන්න ගොවියන්ගේ විස්තර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අපි ලැයිස්තු සකස් කරලා ගන්නවා. මේ ලැයිස්තු හදන එක ලොකු අමාරු වැඩක් නෙමෙයි. මොකද මේ ගොවියන්ගේ තොරතුරු සියල්ල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ තියෙනවා. අපිට තියෙන්නේ අස්වැන්න නෙළපු අය අතහැර ඉතිරි ටික බලන්න ඕනේ. ඒ ලැයිස්තුව කොළඹට එවලා. ඒ ලැයිස්තුව බලශක්ති අමාත්‍යාංශයට යවනවා. එයාලා ලැයිස්තුව අදාළ ඉන්ධන පිරවුම්හල්වලට යවනවා. ලැයිස්තුව හදනකොටම අපි ගන්නවා විස්තර ගොවියාට ඉන්ධන ගන්න පහසුම ඉන්ධන පිරවුම්හල මොකක්ද කියලා. එතකොට ගොවියාට ලොකු අපහසුවක් එන්නේ නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගත්ත තොරතුරු අනුව අපි නිශ්චිත ප්‍රමාණයක් නියම කරා. ඒ අනුව අස්වැන්න නෙළීමේ කටයුතුවලට අක්කරයකට ඉන්ධන ලීටර 15ක්. සීසෑමේ කටයුතුවලට අක්කරයකට ලීටර් 30ක්.”




