
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහස ඉදිරි පැය 48 ඇතුළත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් නොකළහොත් ඉරානයේ බලාගාර වෙත ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අවසාන නිවේදනයක් නිකුත් කර තිබේ.

අමෙරිකා-ඊශ්‍රායල හමුදා ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය සිව්වන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රකාශය යුද තත්ත්වය තවදුරටත් උත්සන්න කරන්නක් වී ඇත.
සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ජාලය හරහා පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ, ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය කොන්දේසි විරහිතව විවෘත කළ යුතු බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ නිශ්චිත කාලසීමාව තුළ එය ඉටු නොවන්නේ නම්, ඉරානයේ විශාලතම බලාගාරයේ සිට ආරම්භ කරමින් එරට විවිධ බලශක්ති මධ්‍යස්ථාන අතුගා දැමීමට අමෙරිකාව පියවර ගන්නා බවයි.
ඉරානය විසින් මෙම වැදගත් මුහුදු මාර්ගය වසා තැබීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර කොටස් වෙළඳපොළවල් ද දැඩි කඩාවැටීමකට ලක්ව තිබේ.
සාමාන්‍ය කාලවලදී ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනයට ඉරානය ද වහා ප්‍රතිචාර දක්වා ඇත. ඉරාන හමුදාව ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව විසින් සිය ඉන්ධන හෝ බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළහොත්, කලාපයේ පිහිටි අමෙරිකාවට අයත් සියලුම බලශක්ති මධ්‍යස්ථාන තම ඉලක්ක බවට පත් කරන බවයි.
මේ අතර, අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් ප්‍රකාශ කළේ, ඉරාන වෙරළ තීරයේ පිහිටි මිසයිල ගබඩා සහ රේඩාර් පද්ධති වෙත පසුගියදා එල්ල කළ ප්‍රබල බෝම්බ ප්‍රහාර හේතුවෙන් නැව් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව දැනටමත් දුර්වල වී ඇති බවයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධය අවසන් කිරීමේ සූදානමක් පවතින බවට ට්‍රම්ප් මීට දින කිහිපයකට පෙර ඉඟි පල කර තිබුණ ද, ඔහුගේ නවතම ප්‍රකාශයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ යළිත් දැඩි අවිනිශ්චිතතාවක් මතුව තිබේ




