
බලශක්ති කලමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඊයේ (10) වැඩි ඡන්ද 104කින් පරාජයට පත්වුණා.

යෝජනාවට විරුද්ධව ඡන්ද 153 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 49 ක් පමණි.
යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුද ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාද ඡන්දය ප්‍රකාශ කළහ.
මෙය වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පළමු විශ්වාසභංග යෝජනාවයි.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊයේ උදේ 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්විණ. විවාදය ආරම්භ කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා විසිනි.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.
බාල ගල් අඟුරු ගෙන්වීමෙන් රජයට පාඩු කිරීම සහ විවිධ අක්‍රමිකතා කරන ලදැයි මෙම යෝජනාවෙන් චෝදනා එල්ල කර තිබිණ.
ආනයනය කෙරුණු ගල් අඟුරු බාල නමුත් දූෂණයක් සිදුව නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.




