
අලුත්වැඩියා කර ජනතා අයිතියට පත් කළ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සනීපාරක්ෂක පද්ධතියට සිදුකර ඇති හානිය කිසියම් කණ්ඩායමක් විසින් සැලසුම්සහගතව සිදුකරන ලද සංවිධානාත්මක ක්‍රියාවක් විය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. ප්‍රසන්න කුමාර ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම හානිය ආකාර දෙකකින් සිදුවිය හැකි බවයි. එනම්, මහජනතාවගේ නොදැනුවත්කම හෝ හුරුවක් නොමැතිකම හේතුවෙන් සිදුවන අත්වැරදීම් හෝ යම් පිරිසක් විසින් දැනුවත්ව සිදුකරන විනාශයන් වශයෙනි.
කෙසේ වෙතත්, කාන්තා වැසිකිළි පද්ධතියේ සවිකර තිබූ ජල කරාම පහක් පමණක් ඉලක්ක කර ගලවාගෙන යාම හරහා මෙය අහඹු සිදුවීමක් නොවන බව පැහැදිලි වන බවත්, දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කිසියම් කණ්ඩායමක් විසින් මෙය සිදුකර ඇති බවට සැක කරන බවත් ඔහු පැවසීය.
“මෙය සංවිධානාත්මක වැඩපිළිවෙළක් බව පෙනෙන්නට තිබෙනවා. දේශපාලන අරමුණු වෙනුවෙන් මෙලෙස පොදු දේපළ විනාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස අප උපදෙස් දී තිබෙනවා. මීට පෙරද වරක් මෙම කරාම ඉවත් කර තිබූ අතර ඒවා නැවත සවිකිරීමෙන් පසු ඊයේ රාත්‍රියේ යළිත් ගලවාගෙන ගොස් තිබෙනවා.”
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාපෘතිය විවේචනය කරමින් විවිධ මත ප්‍රචාරය වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතා බදු මුදලින් ඉදිකළ මෙවැනි පොදු සම්පත් ආරක්ෂා කර ගැනීමට සහාය වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
බස් නැවතුම්පොළ පරිශ්‍රයේ දැනට පවතින ආරක්ෂිත කැමරා පද්ධතිය ප්‍රමාණවත් නොවන බැවින්, කැමරා සංඛ්‍යාව වැඩි කිරීමටත් ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කිරීමටත් බලධාරීන් තීරණය කර ඇත.
රුපියල් මිලියන 424ක පිරිවැයකින් නිම කරන ලද මෙම නවීකරණ ව්‍යාපෘතිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ සැලසුම් කළ කාලයටත් පෙර නිම කිරීමට හැකි විය.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ දායකත්වය ඇතිව පැය 24 පුරා ක්‍රියාත්මක වූ මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාවට නැංවිණි.
පසුගිය අප්‍රේල් 8 වැනිදා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම පර්යන්තය හරහා දිනකට මගීන් 75,000කට අධික පිරිසකට සහ බස් රථ 2,000කට පහසුකම් සැලසේ. මෙහි බිම් මහල බස් රථ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති අතර, ඉහළ මහල වායුසමනය කළ විවේකාගාර, වෙළඳසැල් සහ නවීන සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විත වේ.




