
එළැඹෙන අඟහරුවදා දිනයේ දී මුදල් කමිටුව රැස්වීමට නියමිත බවත් එහිදී අනෙකුත් සාමාජිකයින් සමග එක්ව පක්ෂ භේදයකින් තොරව තීරණයක් ගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
එහිදී ගනු ලබන තීරණය මත මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාව පාර්ලිමේන්තුව වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යංශයේ පරිගණක ජාලය හැක් වී ඇති බවට කිසිසේත්ම විශ්වාස කළ නොහැකි අතර එසේ සිදුව ඇත්නම් එය විශාල ගැටලුවක් වන බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා,
”මූලික ගැටලුව වී තිබුණේ තාක්ෂණික පැහැර හැරීමක් සිදු වෙලා ද කියලා.. එතනදී ඔහු අපිට කියලා තිබුණා, නෑ එහෙම සිදු වීමක් නොවේ මොකද ආණ්ඩුව ගෙවන්න වුවමනාවෙන් හිටියත් තාක්ෂණික හේතුවක් නිසා මේක ගෙවන්න බැරි වුණ නිසා ඕස්ට්‍ර්‍ර්ලියානු රජයත් එක්ක සාකච්ඡා කරනවා කියලා..
නමුත් දැන් අපිට මේ ප්රශ්නය ගැන අලුත් තොරතුරු එළියට එනකොට දැනෙන දෙයක් තමා පාර්ලිමේන්තුව මේ ගැන දැනුවත් කරන්න තිබ්බා ජනවාරි මාසයේ දී කියන එක.. ලේකම්තුමා ඉදිරිපත් කරපු ලියුමේ මෙහෙම දෙයක් කියනවා… ඔතෝරිටි එකකින් තොරව මුදල් අමාත්‍යංශයේ පරිගණක ජාලයට හැකර්ලා ඇතුළු වෙලා කියලා.. මම විශ්වාස කරන්නේ නෑ එහෙම වෙලා තියනවා කියලා.. එහෙම නම් මහ විශාල ප්‍රශ්නයක්නේ ඒක.. හැකර්ලා මුදල් අමාත්‍යංශයේ පරිගණක ජාලය හැක් කරලා කියලා මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ.. මෙහෙම වෙලා නෑ කියලා 99%ක්ම මට විශ්වාසය තියෙනවා.. මේ වෙලා තියෙන්නේ වෙන දෙයක්..
අමතක කරන්න එපා විශ්වාසය ගැනයි මේ වැඩකටයුත්ත තියෙන්නේ.. මම බලාපොරොත්තු වෙනවා කමිටුවේ සමාජිකයින්ට දේශපාලන වශයෙන් මේක ගැන හිතන්නේ නැතිව ඒ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අරගෙන හැකි ඉක්මනින් භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු සියලු දෙනා පාර්ලිමේන්තුවට කැඳවලා, මුදල් කමිටුව කැඳවලා ඒ අවශ්‍ය තොරතුරු දැනුවත් කරන්න.. ”




