
වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා අරමුණු විරහිතව, දිගින් දිගටම දුරකතනය මගින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාලය නාස්ති කිරීමට පුරුදු වී තිබේ.

නමුත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආයතනයක් මගින් නිකුත් කළ “ලෝක සතුට” පිළිබඳ වාර්තාව තුළ පෙන්වා දෙන්නේ, මෙලෙස අධික ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අපගේ මානසික සුවතාවයට බෙහෙවින් හානි කරන බවයි.
විශේෂයෙන්ම බටහිර රටවල ජීවත් වන තරුණ ගැහැණු ළමයින්ට මෙයින් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
විදෙස් පර්යේෂකයෙකු වන මයිකල් ප්ලාන්ට් (Michael Plant) මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ,“ඔබ දවසට පැයක් විතර සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් ඒක හොඳයි, මොකද ඒකෙන් අන් අය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔබ සමාජ මාධ්‍යවල වැඩිපුර කාලය ගත කරන තරමට, ඔබේ මානසික සතුට අඩු වෙනවා.”
මේ අතර, පසුගිය වසර 10 තුළ අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල වයස අවුරුදු 25ට අඩු තරුණ පිරිස්වල මානසික සුවතාවය වේගයෙන් පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
සිඩ්නි ග්‍රෝව්ස් (Sydney Grows) යනු 2021 වසරේ සිට ටික්ටොක් හරහා සෞඛ්‍ය සහ ශරීර සුවතාවය පිළිබඳ වීඩියෝ නිර්මාණය කරන තරුණියකි.
ඇය පවසන්නේ සමාජ මාධ්‍ය නිසා තමන්ට හොඳ අවස්ථා ලැබුණු බවයි.
කෙසේ වෙතත්, එහි ඇති නරක පැත්ත ගැන ඇය පවසා ඇත්තේ”මට හොඳ කමෙන්ට්ස් 100ක් ලැබුණත් ඒක හිතට දැනෙන්නේ නැහැ. හැබැයි එක නරක කමෙන්ට් එකක් ආවොත් ඒක හිතට තදින්ම දැනෙනවා, රිදෙනවා. දැන් මම අවුරුදු 4ක් තිස්සේ ඒ වගේ දේවල් දරාගන්න පුරුදු වෙලා ඉන්නවා.”
මේ අනුව සමාජ මාධ්‍ය දැන් අපේ ජීවිතවලින් ඉවත් කළ නොහැකි කොටසක් වී අවසන්ය.
රජයකට හෝ වෙනත් අයෙකුට ඔබ ඒවා පාවිච්චි කරන එක නතර කළ නොහැක.
එබැවින් ස්වයං පාලනයක් ඇති කරගත යුත්තේ ඔබමය.




