
එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථාවලදී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියා මාර්ග ගන්නා ලෙසට කෙරුණු ආරාධනාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රසිද්ධියේ එකඟත්වය පළ කළේය.

ඇතැම් රජවරු ඒ ඒ පාලන කාලවලදී සංඝයා වහන්සේ ඝාතනය කළහ. ජනතා විමුක්ති පෙරමුණ ද වර්ෂ 1987 – 89 කාලවලදී එලෙසම සංඝයා වහන්සේලා ඝාතනය කරනු ලැබීය.
කොටිකාවත්තේ සද්ධාතිස්ස, වෙල්තොට පඤ්ඤා දස්සි, බෙලිගල්ලේ මහින්ද, කුඹගොඩ ඤාණාලෝක, අතුරුගිරියේ පඥ්ඥාතිස්ස, සොරගුණේ පඥ්ඥාසාර, පැල්පොල ධර්මපාල, මහනුවර ධම්මරක්ඛිත යන හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන ලැයිස්තුවට ඇතුළත් වෙති.
බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම හැරුණු විට බෞද්ධයන්ට කළ හැකි ලොකුම පාපය සංඝ ඝාතනයයි. ජනතා විමුක්ති පෙරමුණ කළ ඒ ඝාතනවලට අදටත් සමාව ගෙන නැත. අවම වශයෙන් ඒ පියවරවත් නොගෙන ලැජ්ජා නැතිව ජනාධිපතිවරයා මේ ආරාධනාව පිළිගැනීම සදාචාරසම්පන්නද?
සංඝයා වහන්සේ ඝාතනය කරනවාට අමතරව ජනතා විමුක්ති පෙරමුණ වෙහෙර විහාරස්ථානවල තිබූ වටිනා ඓතිහාසික බඩු භාණ්ඩ ද මංකොල්ල කෑවේය.
දේශපාලන වශයෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක පිළිගත්තේ නැත. එසේම හැමවිටම ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළේ බුද්ධාගමට විරුද්ධවය.
මේ අනුව පැන නගින ප්‍රධාන ප්රශ්නයකි. එනම් භික්ෂුන් වහන්සේලා ඝාතනය කළ ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණට පාලන බලය ගෙන මෙවැනි කටයුත්තක් කළ හැකිද යන්නය. මෙහි සැඟව ඇති චේතනාව කුමක්ද?
විනය විරෝධීව හැසිරෙන සහ අපරාධවල නිරත වෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට වෙනම පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට පියවර ගත්තේය. භික්ෂූන් වහන්සේ විනය සම්බන්ධයෙන් තීන්දු දීම සඳහා සංඝ අධිකරණය ඇතිකිරීමට එමඟින් ප්‍රතිපාදන සම්පාදනය කෙරිණි.
රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මගින් ශාසනයත්, බුදුදහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද ක්‍රියාත්මක කරගෙන යයි. ඊට සිවිල් සමාජයේ කොටසක්ද සම්බන්ධ කරගෙන සිටී. හැමවිටම අද සිදුවන්නේ බෞද්ධ පැවිදි – ගිහි මතය කොන් කිරීමකි.
ජනාධිපතිවරයාගේ කතාවේදී ලෝක බෞද්ධ මහා සම්මේලනය වත්මන් රජය යටතේ මෙරට පැවැත්වීම පිළිබඳව ද සඳහනක් කෙරිණි. එය ප්‍රකාශ කරනු ලැබුවේ බෞද්ධකම පෙන්වීමට බව ඉතාම පැහැදිලිය.
මෙවැනි තත්ත්ව වසල සූත්‍රයෙන් ද පෙන්වා දෙයි.
න ජච්චා හෝති බ්‍රාහ්මණෝ;
“න ජච්චා වසලෝ හෝති,
කම්මනා වසලෝ හෝති,
කම්මනා හෝති බ්‍රාහ්මණෝ.”
එහි සිංහල තේරුම පහත පරිදිය.
“උපතින් කෙනෙකු වසලයෙකු නොවේ.
උපතින් කෙනෙකු බ්‍රාහ්මණයෙකු ද නොවේ.
තමන්ගේ ක්‍රියාව අනුව කෙනෙකු
වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි.”
එක්සත් ජාතික පක්ෂය




