
ගිනියම් හිරු රශ්මිය සහ හුස්ම හිර කරන වාතය නොතකා, දොළොස් හැවිරිදි දිමිත්‍රි (ඔහුගේ සැබෑ නම නොවේ) නැගෙනහිර කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ගෝමාහි අවිධිමත් ජනාවාසයක් වන බිරේරේහි ඔහුගේ මවගේ කුඩා යකඩ තහඩුවලින් සැකසූ නිවස තුළ සැඟවී සිටී.
“එයාගේ කැරලි කොණ්ඩය සහ මෘදු සම නිසා අනෙක් දරුවන්ගේ විහිළුවලට මුහුණ දෙන්න එයා කැමති නැහැ,” ජනවාරි මාසයේදී ගෝමා M23 කැරලිකරුවන්ට යටත් වීමට පෙර බීබීසීයට කතා කරමින් ඔහුගේ මව කමාතේ බිබිචේ පැවසුවා ය.
“එයා (දිමිත්‍රි) රුසියානු ජාතිකයෙක්, ඒත් එයා කවදාවත් එයාගේ සැබෑ උරුමයට අනුව ජීවත් වෙන එකක් නෑ,” ඇය පවසයි.
දිමිත්‍රි කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ මෙහෙයුමේ (MONUSCO) වේදනාකාරී උරුමයක් සිහිගන්වයි.
1999 අවසානයේ එය ක්‍රියාත්මක කළ දා සිට, මෙම මෙහෙයුම කාන්තාවන් සහ තරුණ ගැහැනු ළමුන් සම්බන්ධ ලිංගික සූරාකෑම සහ අපයෝජන පිළිබඳ පුළුල් චෝදනාවලට ලක්වී තිබේ.
ඇගේ ඇඳ යට සඟවා ඇති දූවිලි සහිත පෙට්ටියක් එළියට ගැනීමට කමාතේ අදිමදි කරයි.
එම පෙට්ටිය ඇතුළත ඇත්තේ, යූරී පිළිබඳ ඇයට ඇති එක ම මතකයයි. ඇය පවසන්නේ, යූරී දිමිත්‍රිගේ පියා බව ය. එහි පරණ වූ හමුදා හිස් වැස්මක් සහ ඔවුන් දෙදෙනා එකට සිටින පැරණි ඡායාරූපයක් ඇත.
කමාතේ රාත්‍රී විනෝද චාරිකාවකදී යූරීව මුණගැසුණු අතර, ඔහුගේ සන්සුන් පෞරුෂයට ඇය ආකර්ෂණය වූ බව පැවසුවා ය. මෙම යුවළ මාස තුනක සම්බන්ධතාවක් පවත්වාගෙන ගියහ.
“එයා අනික් පිරිමින් වගේ නෙවෙයි. මට ඇත්තටම ආදරය කළා, හොඳින් සැලකුවා. ඒ මම ජීවිතේ ගත කරපු හොඳ ම මාස තුන,” කමාතේ සිහිපත් කරයි.
බොහෝ සාම සාධක භටයින් ප්‍රාදේශීය ප්‍රජාවන් සමග අන්තර් සම්බන්ධතා පවත්වන ආකාරයට ම යූරි ද ඔහුගේ සැබෑ පසුබිම හෝ සැබෑ සුදුසුකම් පිළිබඳව හෙළි කළේ ඉතා අල්ප වශයෙනි.
“එයා එක්සත් ජාතීන්ගේ සාමා සාධක භටයෙක්,” කමාතේ පවසයි.
“මම ගැබ්ගෙන ඉන්නවා කියලා එයා දැනගෙන හිටියා, අපිව බලාගන්න පොරොන්දු වුණා. නමුත් ඊට පස්සේ එයා වචනයක්වත් නොකියා අතුරුදහන් වුණා, හරියට අපි එයාට කිසි ම සම්බන්ධයක් නැති කෙනෙක් වගේ,” කමාතේ පවසයි.
තම රුසියානු සහකරු භාවිත කළ දුරකතන අංකය විසන්ධි කර ඇති බැවින්, ඔහු සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් නොමැති බව ඇය පවසයි.
බලය අයුතු ලෙස භාවිත කිරීම
කමාතේ සිය කැමැත්තෙන් ඔහු සමග සම්බන්ධතාවකට එළඹුණ ද, 2005 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් යටතේ, එය තවමත් සූරාකෑමක් ලෙස සැලකේ.
මෙම ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රාදේශීය ජනගහනය අතර ආවේණික බල අසමතුලිතතාව හඳුනා ගන්නා අතර, එමගින් එවැනි ඕනෑ ම ලිංගික සම්බන්ධතාවක් (එම සම්බන්ධතා කැමැත්තෙන් සිදුවුවත්) සූරාකෑමක් ලෙස සැලකිය හැකි ය.
මෙම යෝජනාව හරහා සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ, අපරාධකරුවන් ඔවුන්ගේ මව් රටවලට ආපසු යැවූ පසු ඔවුන්ට වගවීම සහතික කිරීම මගින් වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස ය.
කමාතේගේ පෙම්වතා සිටින ස්ථානය පිළිබඳව විමසූ විට, MONUSCO ප්‍රකාශක එන්ඩියේ ලෝ BBC රුසියානු සේවයට පැවසුවේ, මෙහෙයුමට අදාළව කිසිදු බලඇණියක් නොමැති බවත්, “මූලස්ථානයේ සේවය කරන්නේ පොලිස් නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු පමණක්” බවත් ය.
“නීතිමය හේතු මත” 2012 දී සේවය කළ නිශ්චිත රුසියානු නිලධාරීන්ගේ වාර්තා වෙත ප්‍රවේශය ලබා දීමට මෙහෙයුමට නොහැකි බව ඇය පවසයි.
රුසියානු භාෂා සමාජ මාධ්‍ය ඇතුළුව යූරී සොයා ගැනීමට බීබීසී උත්සහ කළ නමුත් ඔහුව සොයා ගැනීමට නොහැකි විය.
කොංගෝ රාජ්‍යයේ ඛනිජ සම්පත්වලින් පොහොසත් නැගෙනහිර කලාපය පාලනය කිරීමට උත්සහ දරන කැරලිකාර කණ්ඩායම් සමග රජයේ හමුදා සටන් කරන බැවින් එරට දශක ගණනාවක් තිස්සේ ගැටුම්වලට මුහුණ දී තිබේ.
ජනවාරි මාසයේදී ගෝමා නගරය රුවන්ඩාවේ සහය ලත් M23 කැරලිකරුවන් අතට පත්විය. කොංගෝ අගමැතිනියට අනුව, සටන්කාමීන් නගරය අත්පත් කර ගැනීමේදී සිදුවූ සටන්වලදී 7,000 ක් පමණ මිය ගියහ.
එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවට අනුව, මිලියන අටකට අධික ජනතාවක් දැනට අවතැන් වී ඇති අතර, එය ලොව විශාලතම අභ්‍යන්තර අවතැන් වීමේ අර්බුදයක් බවට පත්ව ඇත. බොහෝ පිරිස් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ආහාර, ජලය සහ නවාතැන් වැනි මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශයක් නොමැතිකම නිසා කාන්තාවන් සහ ගැහැනු ළමයින් විශේෂයෙන් සූරාකෑමට ලක්විය හැකි ය.
බීබීසී පුවත් සේවය මාරියා මසිකා (ඇගේ සැබෑ නම නොවේ) සමග කතා කරන විට, ඇය නගරයට උතුරින් පිහිටි සටන් සහිත සකේ නගරයේ සිට ගෝමා වෙත පැමිණ සිටියා ය.
එහිදී, රජයේ සොල්දාදුවන් කැරලිකාර සටන්කරුවන් සමග සටන් කරමින් සිටිය ද අවසානයේ ඔවුහු යටත් කර ගනු ලැබූහ. මාරියා පැහැදිලිව ම කම්පනයට පත් වූවා ය – ඇය දුටු දරුණු වෙඩි තැබීම්වලින් තවමත් කම්පනයෙන් පෙළෙන්නී ය.
‘මම බාලවයස්කාරියක් කියලා එයා දැනගෙන හිටියා’
මසිකා ඇගේ 8 හැවිරිදි දියණිය වන ක්වීන් බැලීමට ගෝමා වෙත ගොස් තිබිණි. ආරක්ෂාව වෙනුවෙන් දියණිය නගරයේ ඇගේ ආච්චි සමග ජීවත් වේ.
වයස අවුරුදු 17දී, මසිකා මිනුගුගි කඳවුර අසල ස්ථානගත කර ඇති දකුණු අප්‍රිකානු සාම සාධක භටයෙකු සමග සම්බන්ධ විය.
“මම බාලවයස්කාරියක් කියලා එයා දැනගෙන හිටියා,” ඇය පවසයි.
“එයා කඳවුර ළඟ ගෙදරක් කුලියට අරගෙන හිටියේ. ඩියුටි ඉවර වුණ වෙලාවට මාව බලන්න ආවා.”
ක්වීන් උපත ලැබීමෙන් පසු, එම සාම සාධක භටයා සොයාගත නොහැකි වූ අතර, මසිකා හුදෙකලා විය.
ඇයට තම දියණිය රැකබලා ගැනීම අභියෝගයක් වී ඇති අතර, ඇය දැන් සේක් නගරයේ ලිංගික ශ්‍රමිකයෙකු ලෙස ජීවිකාව ගෙන යාම සඳහා තම ජීවිතය අවදානමක හෙළා ඇති බව ඇය පවසයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් සහ ප්‍රදේශ වාසීන් අතර සබඳතා පිළිබඳව විමසූ විට, දකුණු අප්‍රිකානු ජාතික ආරක්ෂක බළකාය පවසන්නේ, චෝදනා බැරෑරුම් ලෙස සලකන බව ය.
“ලිංගික සූරාකෑම සහ අපයෝජනය ඇතුළු අනෙකුත් විනය නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ විශ්වාසදායක සාක්ෂි ඇති සිද්ධි ගැන, මෙහෙයුම් පැවති ප්‍රදේශයේ හමුදා අධිකරණ සැසි පවත්වනවා,” හමුදා ප්‍රකාශක සිෆිවේ ඩ්ලමිනි පවසයි.
අතහැර දැමූ සහ අනාථ වූ දරුවන් සඳහා ආරක්ෂිත නිවසක් වන කොංගෝලීස් ෆැමිලි ෆෝ ජෝයිහි, අවම වශයෙන් දරුවන් පස් දෙනෙකු රැකබලා ගනී. සාමසාධක භටයින්ට දාව බිහි වී ඇති එම දරුවන් ඔවුන්ගේ මව්වරුන් අතහැර දමා ගොස් තිබේ.
“අපගේ හවුල්කරුවන් සමග, සාමසාධක කාර්ය මණ්ඩලය විසින් ලිංගික සූරාකෑමට ලක් කරන ලද කාන්තාවන් සහ තරුණ ගැහැනු ළමයින් 200කට පමණ අපි සහය දෙනවා,” මධ්‍යස්ථානයේ අධ්යක්ෂ නෙලී ක්යේයා පවසයි.
“ඔවුන්ගෙන් ගොඩක් අය ජීවත් වෙන්න වෙනත් මගක් නැති නිසා ගණිකා වෘත්තියට යොමු වීමෙන් දැඩි අපකීර්තියට ලක් වෙනවා. මෙම කොන් කිරීම බොහෝ විට ඔවුන්ගේ දරුවන් අතහැර දැමීමට ඔවුන්ව පොළඹවනවා,” ඇය පවසයි.
ලිංගික සූරාකෑමට ලක්වන අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඍජු අධිකාරියක් නොමැතිකම නිසා බොහෝ දෙනෙකුට නිදහසේ පළා යාමට අවස්ථාව හිමි වන බව කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ කාන්තා අයිතිවාසිකම් කණ්ඩායමක් වන සොෆෙපාඩිහි ජාතික සම්බන්ධීකාරක සැන්ඩ්රින් ලුසමාබා බීබීසීයට පැවසීය.
බොහෝ සාමාජික රටවල් තම සොල්දාදුවන්ට නඩු පැවරීම සඳහා සහයෝගය නොදක්වන බව ඇය පවසයි.
2024 මාර්තු මාසයේදී නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් පෙන්නුම් කරන්නේ, එහි සාම සාධක හමුදාව සහ විශේෂ දේශපාලන මෙහෙයුම්වලට අදාළ ලිංගික අපයෝජන සහ සූරාකෑම පිළිබඳ චෝදනාවල වැඩිවීමක් ඇති බව ය.
2023 දී සාම සාධක මෙහෙයුම් සහ විශේෂ දේශපාලන මෙහෙයුම්වලදී සිදුවූ බවට වන චෝදනා සියයක් වාර්තා වූ අතර එය 2022 දී වාර්තා වූ 79ට වඩා ඉහළ යාමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙම සිදුවීම්වලට 143 දෙනෙකු ගොදුරු වී ඇති අතර, ඒ අතර වැඩිහිටියන් 115 දෙනෙක් සහ ළමුන් 28 දෙනෙක් ඇතුළත් වෙති.
විශේෂයෙන්, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ සංවිධාන මෙහෙයුම (MONUC) ඇතුළුව MONUSCO – චෝදනා 100න් 66ක් සඳහා වගකිව යුතු විය.
නොඉවසීමේ ප්‍රතිපත්තිය
“ලිංගික සූරාකෑම සහ අපයෝජන චෝදනා පිළිබඳ තොරතුරු ලැබුණු විට, තොරතුරු තක්සේරු කර නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නවා,” MONUSCO ප්‍රකාශක එන්ඩියේ ලෝ පවසයි.
“චෝදනාවකට සනාථ කර ඇති ඕනෑ ම පුද්ගලයෙකුට අපගේ පද්ධතිය තුළ තවදුරටත් රැකියා (සිවිල්) හෝ සේවා නියුක්ති (නිල ඇඳුමින්) යෙදීම තහනම්.”
වින්දිතයින්ගේ ආධාර භාර අරමුදල හරහා කුසලතා පුහුණුව සහ අධ්‍යාපනය ලබා දීමෙන්, චෝදනා ලැබූ වින්දිතයින් සහ ඔවුන්ගේ දරුවන් බලගන්වන බව එම ආයතනය පවසයි.
නමුත් කමාතේ සහ මරියා වැනි බොහෝ කාන්තාවන් සහ තරුණියන් පවසන්නේ, පවතින සහයෝගය පිළිබඳව තමන් දැන නොසිටි බවත්, අනෙක් පුද්ගලයින් යුක්තිය ඉටු කර ගැනීමට නොහැකි තරම් කම්පනයට පත්ව සිටින බවත් ය.
උපුටා ගැනීම – බීබීසී සිංහල




