
ලොව දැවැන්තම කොටස් වෙළෙඳපොළ ප්‍රවේශය සමග, තම ‘SpaceX’ රොකට් සමාගමේ කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් Tesla සහ SpaceX සමාගම්වල නිර්මාතෘවරයා වන ඉලොන් මස්ක් ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Bloomberg බිලියනපතියන්ගේ ලේඛනයට අනුව, ඉලොන් මස්ක් සිය සමස්ත ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.11 ක් දක්වා ඉහළ නංවා ගනිමින්, ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සිය ස්ථානය තවදුරටත් ස්ථාවර කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
SpaceX සමාගම, ඩොලර් ට්‍රිලියන 2.2 ක අගයකින් යුතුව ‘Nasdaq’ කොටස් වෙළෙඳපොළ වෙත ඇතුළත් වීමත් සමඟ මෙම වාර්තාව බිහි වී තිබෙනවා.
SpaceX සමාගම විසින් සිය කොටසක් පළමුව ඩොලර් 135 බැගින් පිරිනැමීමට තීරණය කර තිබුණද, කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයේදීම එය ඩොලර් 150ක් දක්වා ඉහළ ගිය අතර, මස්ක් සහ අභ්‍යවකාශ ක්ෂේත්රය ආශ්රිත ව්‍යාපාර කෙරෙහි ආයෝජකයන් තුළ ඇති දැඩි උනන්දුව හේතුවෙන් කොටසක මිල එක් අවස්ථාවක ඩොලර් 176.50 ක් දක්වා ද ඉහළ ගොස්, පසුව සිකුරාදා දිනය නිමාවන විට කොටසක මිල ඩොලර් 161 ක් ලෙස සටහන් වී තිබුණා.
SpaceX සමාගමේ මෙම මූලික මහජන කොටස් නිකුතුව (IPO) හරහා, එය විවෘත කොටස් වෙළෙඳපොළට පැමිණීමට පෙරම ආයෝජකයින් සහ ප්රතිග්රාහකයින්ගෙන් ඩොලර් බිලියන 75 ක මුදලක් රැස්කර ගැනීමට සමත් වී තිබුණු බවයි දැක්වෙන්නේ.
ඉලොන් මස්ක් සතුව SpaceX සමාගමේ 42%ක හිමිකාරීත්වයක් පවතින අතර, බ්ලූම්බර්ග් වාර්තාවලට අනුව, සිකුරාදා ගනුදෙනු අවසානයේදී මස්ක් සතු SpaceX කොටස්වල වටිනාකම ඩොලර් බිලියන 767.1 ක් වූ අතර, ඔහු සතුව තවත් ඩොලර් බිලියන 53.8 ක SpaceX කොටස් මිලදී ගැනීමේ අයිතිවාසිකම් (Options) පවතිනවා.
මීට අමතරව ඔහු සතුව ඩොලර් බිලියන 168 ක Tesla කොටස් සහ තවත් ඩොලර් බිලියන 116.4 ක ටෙස්ලා කොටස් මිලදී ගැනීමේ අයිතිවාසිකම් ද පවතින බවයි සඳහන් වන්නේ.
කෙසේ වුවද, මස්ක් මෙලෙස ට්‍රිලියනපතියා වී ඇත්තේ ‘ලියකියවිලිවලට අනුව පමණක්’ (On Paper) වන අතර, ඔහුගේ මෙම වත්කම් සියල්ලම පාහේ ටෙස්ලා සහ SpaceX සමාගම්වල පවතින කොටස්වල වටිනාකම මත තීරණය බව බව සඳහන්.
එමෙන්ම, ඔහුට අවම වශයෙන් තවත් වසරක් යනතුරු සිය SpaceX කොටස් කිසිවක් විකිණීමට ද නීතිමය හැකියාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.




