
අනුරාධපුර, මිහිඳුපුර ප්රදේශයේ දී අද (15) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් ගැබිනි කාන්තාවක් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටී.
පාසල් සිසුන් ප්රවාහනය කරමින් ගමන් කළ “සිසු සැරිය” බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරට ලක් වූ යතුරුපැදියේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ගමන් කර ඇති අතර, එහිදී පිරිමි පුද්ගලයින් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූලික විමර්ශනවලට අනුව, ජීවිතක්ෂයට පත් එක් පුද්ගලයෙකු සහ තුවාල ලැබූ ගැබිනි කාන්තාව පොළොන්නරුව ප්රදේශයේ සිට යහළුවෙකුගේ නිවසට පැමිණ ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ තවත් යහළුවෙකු සමඟ යතුරුපැදියේ ගමන් කරමින් සිට ඇති බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරට හේතුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර රථවාහන පොලීසිය විසින් සිදුකරමින් පවතී.




