
රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ එය සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමග කේන්ද්‍රීයව බැඳී පැවතිය යුතු සංවර්ධනයක් විය යුතු බවය.
ජනාධිපති කාර්යාලයේ පැවති බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
ලොව බොහෝ රටවල් දියුණුව අත්පත් කරගෙන ඇත්තේ සිය සංස්කෘතික පදනම මත පිහිටා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතීන් අතර සමගිය සහ සහජීවනය ගොඩනැගීමේදී මෙම සංස්කෘතික පදනම ඉතා වැදගත් බව සඳහන් කළේය.

ග්‍රාමීය ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය යටතේ විහාරස්ථානවල දානශාලා ඉදිකිරීම, ජල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන සියලු ආගම්වල දහම්පාසල් සංවර්ධනය සහ දිට්වාවලින් විනාශයට පත් ආගමික ස්ථාන නැවත ගොඩනැංවීම සම්බන්දයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
සූර්යබල විදුලි පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ඉඩම් ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති සියලු ගැටලු පිළිබඳ සොයාබලා ඒවාට විසදුම් ලබාදෙමින් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
උරුමයන් සහ ඉතිහාසය නූතන පරපුරට සමීප කිරීම සඳහා ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, හුදු ගොඩනැගිල්ලක් තුළට සීමා නොවී නූතන තාක්ෂණය භාවිතා කරමින් ඉතිහාසය සජීවීව අත්විඳිය හැකි අන්දමින් කෞතුකාගාර ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වා තිබේ.
මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු දේපොළ පාලනයේදී පසුගිය කාලය පුරා පැවති දුර්වලතා සහ අක්‍රමිකතා පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු කෙරුණු අතර, ජනතා දේපොළ අක්‍රමවත් ලෙස භාවිතා වන තත්වයන් වළක්වා ගැනීම සඳහා අදාළ පනත් සංශෝධනය කිරීමටත් පාඩු ලබන හෝ ඵලදායී නොවන දේපළ පිළිබඳ විධිමත් සමාලෝචනයක් කර නව නීතිමය රාමුවක් සකස් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.




