
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඊයේ (01) පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හට ගනු ලැබීය.
එහිදී රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්විය.
තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව, සහ පොලීසිය යෙදවීමටද පියවර ගෙන තිබුණි.
එමෙන්ම ඇති වූ නොසන්සුන්තාවය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 දරන ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානායක් යෙදවීමටද පියවර ගනු ලැබීය.

ඊයේ දිනයේදී වාර්තා වූයේ රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනිතබා ඇති බවය.
එමෙන්ම ඊයේ පස්වරුවේ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් මහර බන්ධනාගාරයට පැමිණියද ඔවුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර හිමි නොවීය.
ඒ අනුව ඥාතීන් මහර බන්ධනාගාරය ඉදිරිපිටට රැස්ව සිටි අතර එහිදී ඔවුන් සහ පොලීසිය අතර නොසන්සුන්තාවයක්ද නිර්මාණය වූ නමුත් පොලීසිය තත්ත්වය පාලනය කිරීමට පියවර ගනු ලැබීය.
බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬ කිහිපයක් ඇසීමත් සමග රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සාහ කර ඇති අතර ඒ සමග ආරක්ෂක අංශ විසින් තත්ත්වය පාලනය කරනු ලැබීය.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බවටද වාර්තා විය.
මේ අතර පවතින තත්ත්වයන් තුළ මහර ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමටද පොලීසිය කටයුතු කරනු ලැබීය.
ඒ සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් බවට පොලීසිය සඳහන් කළ අතර ඒ අනුව ඒ, 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා මෙම පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කළේය.
මේ අතර නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාද මහර බන්ධනාගාර පරිශ්‍රයට ඊයේ රාත්‍රියේ පැමිණ තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූවන් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවත් අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා සමග සාකච්ඡා කළ බවත් මහර බන්ධනාගාරයට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවත්ය.
තවද බන්ධනාගාරය තුළ ගිනි තැබීමක් සිදුව ඇති බවත් එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.




