
ශ්‍රී ලංකාව පුරා නීතිවිරෝධී ගිනි අවි 15,000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් සංසරණය වන බවට ආරක්ෂක අංශ නිලධාරීන් ඇස්තමේන්තු කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම අනවසර ගිනි අවිවලින් බහුතරයක් පාතාල කල්ලි සාමාජිකයන්, කුලියට මිනීමරන කණ්ඩායම් සහ හමුදාවෙන් පැන ගිය සාමාජිකයන් සතුව පවතින බවයි.
මීට අමතරව, අතීතයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කළ ගිනි අවි සැලකිය යුතු ප්‍රමාණයක් ද මෙම නීතිවිරෝධී අවි ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.
මෑත කාලීනව විවිධ රටවලින් නීතිවිරෝධී ලෙස මෙරටට ගිනි අවි රැගෙන එන මාර්ග පහක් උසස් පොලිස් නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර, එම මාර්ග ඉලක්ක කර ගනිමින් ආරක්ෂක මුරපොළවල් දැඩි කිරීමට පියවර ගෙන ඇත.
පොලිස් වාර්තාවලට අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට 2026 ජූලි 03 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නීතිවිරෝධී ගිනි අවි 3,100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයින් වැඩිම ප්‍රමාණයක් වන ගිනි අවි 2,404ක් සොයාගෙන ඇත්තේ 2025 වසරේදීය. එම අවි අතර ටී-56 ස්වයංක්‍රීය ගිනි අවි 74ක්, පිස්තෝල 90ක් සහ දේශීය නිෂ්පාදිත ගිනි අවි 2,177ක් ඇතුළත් වේ. 2026 වසරේ මුල් මාස හයහමාරක කාලය තුළ පමණක් ගිනි අවි 719ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් හෙළි වී ඇත්තේ පොලිස් භාරයේ තිබූ විවිධ වර්ගයේ ගිනි අවි 20ක් අතුරුදන්ව ඇති බවයි.
ඒ අතර පිස්තෝල 5ක්, ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 8ක් සහ එස්.එල්.ආර්. (SLR) වර්ගයේ ගිනි අවි 7ක් වන බව එම වාර්තාවේ සඳහන් වේ.
මෙම අවි අතුරුදන් වීම මහජන ආරක්ෂාවට දැඩි බලපෑමක් බව විගණන කාර්යාලය පෙන්වා දෙයි. මීට අමතරව, ගිනි අවි උපාංග සහ පතරොම් අස්ථානගත වීම් සම්බන්ධයෙන් සිදුවීම් 228ක් ද වාර්තා වී තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විජේපාල මහතා අවධාරණය කරන්නේ, පාතාල ක්‍රියාකාරකම් සහ නීතිවිරෝධී ගිනි අවි මැඩලීම සඳහා රජය දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.
අපරාධකරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, අනවසර ගිනි අවි සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොීසියේ සම්පූර්ණ අනුමත නිලධාරීන් සංඛ්‍යාව 84,000කට අධික අගයක් ගත්තද, වර්තමාන සක්‍රීය සේවයේ නියුතු නිලධාරීන්ගේ ප්‍රමාණය එම අනුමත සීමාවට වඩා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.
රටේ වත්මන් පොලිස් සේවයේ පවතින පුරප්පාඩු සහ නිලධාරීන්ගේ හිඟය 32,000කට ආසන්න බව තහවුරු කර ඇත.




