
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ නමින් උදාගම්මාන දෙකක් නම් කිරීමට තමන් කළ යෝජනාව ඔවුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නන්දා මාලිනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව අනාවරණය කළේය.
“නන්දා මාලිනී මහත්මිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වෙනුවෙන් උපහාරයක් ලෙස ඔවුන්ගේ නම්වලින් උදාගම්මාන දෙකක් නම් කිරීමට මට විශාල ආසාවක් තිබුණා. ඒ සම්බන්ධයෙන් මම ඔවුන් දෙදෙනාටම දුරකථනයෙන් කතා කරලා යෝජනා කළා. නමුත් ඔවුන් දෙදෙනාම ඉතාම කාරුණිකව මගේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. තමන්ට එවැනි නාමික ඇගයීම් අවශ්‍ය නොවන බවයි ඔවුන් එහිදී ප්‍රකාශ කළේ.”
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලසිත් මාලිංග, කුමාර සංගක්කාර වැනි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නමින් ගම්මාන නම් කර ඇති බව පෙන්වා දෙමින් තමන් මෙම යෝජනාව ඉදිරිපත් කළ ද, ඔවුන්ගේ නිහතමානීත්වය සහ ප්‍රතිපත්තිගරුක බව හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොලැබුණු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.




