
තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය සහ අපහාසාත්මක පුවත් ප්‍රචාරය කරන පුද්ගලයන් කිහිප දෙනෙකුට එරෙහිව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඩුබාහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන ශිරාන් බාසික් නමැත්තා සමඟ තමන් සම්බන්ධ කරමින්, අයථා මූල්‍ය ගනුදෙනු හෝ වංචනික ක්‍රියාවල නිරත වන බවට හැඟවෙන පරිදි පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව තම කීර්ති නාමය විනාශ කිරීමේ අරමුණින් මෙම ප්‍රචාරයන් සිදු කරන බව දිල්ෂාන් මහතා අවධාරණය කරයි.
මෙම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන්ගේ දත්ත සහ අදාළ සාක්ෂි ද ඔහු විසින් විමර්ශන නිලධාරීන් වෙත භාර දී තිබේ.
මෙම ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමටත්, ඒවා පිටුපස පවතින සංවිධානාත්මක ක්‍රියාවලිය පිළිබඳව ස්වාධීන සහ නීත්‍යානුකූල පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහු පොලිසියෙන් ඉල්ලා සිටියේය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිලකරත්න දිල්ෂාන් මෙසේ පැවසීය.
“මුදල් ඉපයීමේ පටු චේතනාවෙන් සමාජ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයන් දෙදෙනෙකු සහ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් විසින් මට එරෙහිව මෙම අසත්‍ය චෝදනා එල්ල කර තිබෙනවා.වසර ගණනාවක් කැපවීමෙන් ක්‍රීඩා කර රටට ලබාදුන් ගෞරවය මෙන්ම මගේ බිරිඳ, දරුවන් සහ ඥාතීන්ගේ පෞද්ගලිකත්වයටත් මෙමගින් විශාල අසාධාරණයක් සිදුව තිබෙනවා.”
එල්ල වී ඇති සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවත්, තමන් සියයට දහසක් නිවැරදි බවත් පැවසූ ඒ මහතා, තමන්ට අපහාස කළ පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය ලේඛන මේ වන විටත් සිය නීතිඥයන් විසින් සකස් කරමින් පවතින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.




