
මෙරට සමාජය තුළ තවමත් ඉතිරිව සිටින්නේ හොරකමට සහ දූෂණයට අත්පොළසන් දෙන ඉතා සුළුතරයක් වූ ගෝත්‍රික කණ්ඩායමක් බවත්, ඊයේ දිනයේ අනුරාධපුර නගරයේදී දක්නට ලැබුණේ එම සුළු පිරිස බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ තේමාව යටතේ කහටගස්දිගිලිය සති පොළ භූමියේදී පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“අපේ සමාජයේ අතිශය සුළුතරයක් වූ ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා. ඊයේ අනුරාධපුරයේදී අප දුටුවේ ඒ කණ්ඩායමයි. මුළු රටේම ඉන්නේ එපමණයි. ඔවුන් පවසන්නේ කුමක්ද? හොරා කෑවට කමක් නැහැ, හිරේ යවන්න එපා කියලයි. සමහරු ‘අපේ හොරා අපිට හොඳයි’ කියමින් පෙළපාලි යනවා, හොරුන්ට අත්පොළසන් දෙනවා. එහෙම සමාජයක් තියෙන්න පුළුවන්ද? එහෙම තියන්න ඕනෙද? එලෙස කිසිවෙකුට හෝ නීතියෙන් බේරී සිටීමට ඉඩ නොතබන බව තරයේ මතක තබාගත යුතුයි.
කහටගස්දිගිලියේ එවැනි දූෂිතයන් සහ වංචනිකයන් පසුපස යන, ඔවුන් හිරේ දාන්න එපා යැයි කියන අය නැහැ. මුළු රටේම ඉන්නේ එවැනි ඉතාම සුළු පිරිසක් පමණයි. ඒ නිසා මෙම තත්ත්වය වෙනස් කිරීමට සමස්ත සමාජයටම විශාල වගකීමක් තිබෙනවා. රජයක් හැටියට මා නීතිය ක්‍රියාත්මක කරමින් වංචනිකයන්ට, දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීතිමය යාන්ත්‍රණය මේ වන විටත් සකස් කර තිබෙනවා.” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.




