
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන් ඇස් බැඳගෙන සිටින බවට පසුගියදා කළ ප්‍රකාශය සත්‍යයක් බවත්, රට පාලනය කරන ආකාරයෙන් ඒ බව තහවුරු වන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

නඩු කටයුත්තක් සඳහා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී හිටපු අමාත්‍යවරයාගෙන් පසුගියදා පැවති තම පක්ෂයේ ජන රැලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා තිබේ.
ඊට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම ජන රැලියේ සාර්ථකත්වය කෙතරම්ද යන්න සියලු දෙනාටම පැහැදිලිව දැකගත හැකි වූ බැවින් ඒ පිළිබඳව අමුතුවෙන් ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
“ජනාධිපතිවරයාට කිසි දෙයක් පේන්නේ නෑ. ඇස් බැඳගෙන තමයි ඉන්නේ. රට පාලනය කරන විදිහෙන්ම ඒ බව පේනවා. එතුමාම ඒ බව ප්‍රකාශ කිරීම හොඳයි,” යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනාධිපතිවරයාට ජනතාව පවසන කරුණු පිළිබඳවද අවධානයක් නොමැති බවට චෝදනා කළ ඔහු, වත්මන් පාලනය යටතේ රටට සිදුවන බව කියන අහිතකර තත්ත්වයන් දෙස බැලීමේදී එය පැහැදිලි වන බව සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිවරයා එක් ප්‍රදේශයකදී ප්‍රකාශ කරන කරුණු තවත් ප්‍රදේශයකදී වෙනස් වන බවටද හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය.
“එතුමාට දැන් පොළොන්නරුවේදී කියපු දේ අනුරාධපුරයට යද්දී මතක නෑ. අනුරාධපුරයේදී කියන දේ පොළොන්නරුවේදී මතක නෑ. දැන් දැන් මේ පාලනයේ සැබෑ ස්වභාවය ජනතාව ඉදිරියේ නිරාවරණය වෙමින් තිබෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




