
ජාතික ඉතුරුම් බැංකුව (NSB) විසින් “සිරිලිය සවිය” පදනමේ ගිණුමට බැර කළ රුපියල් කෝටියක මුදලක් අවභාවිත කළ බවට ශිරන්ති රාජපක්ෂ මහත්මියට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදීය.
“ශිරන්ති මැඩම්, පෙට් ස්කෑන් එකක් ගන්න එකතු කරපු සල්ලි සිරිලිය ගිණුමේ ඒ විදිහටම තියෙනවා,” යනුවෙන් මනෝජ් ගමගේ මහතා එහිදී ප්‍රකාශ කළේය.
රුපියල් කෝටිය සම්බන්ධයෙන් ඇති චෝදනාව
වාර්තා වී ඇති චෝදනාවට අනුව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා වෛද්‍ය උපකරණයක් ලබාගැනීමේ අරමුණින් ජාතික ඉතුරුම් බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් “සිරිලිය සවිය” ගිණුමට බැර කර තිබේ.
එම උපකරණය චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබීමෙන් පසුවද අදාළ මුදල වෙනත් කටයුතු සඳහා භාවිත කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විමර්ශනයක් සිදුකරමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ, යම් පරිත්‍යාගයක් වෙනත් පාර්ශ්වයකින් ලැබුණු පමණින් පෙර එකතු කළ මුදල් ආපසු ලබාදීමක් සිදු නොවන බවයි.
සැප්තැම්බර් 24දා FCID හමුවේ පෙනී සිටීමට දැනුම් දීමක්
මේ අතර, “සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.
ඇයට එම දැනුම්දීම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ලබාදී ඇති බවද පොලිසිය සඳහන් කර ඇත.
ඒ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා විය. ඇය එලෙස විදේශගත වූයේ FCID කැඳවීමක් තිබියදී බවට වාර්තා පළ වූ අතර, රාජපක්ෂ පවුලේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ඇය හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවක් හේතුවෙන් විදේශගත වූ බවයි.
කෙසේ වෙතත්, මෙම චෝදනා සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, විමර්ශන තවදුරටත් සිදුකෙරෙමින් පවතී.




