
2030 වන විට වසරකට සංචාරකයින් මිලියන 4ක් ගෙන්වා ගනිමින් ඩොලර් බිලියන 8ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව පැවසුවේ, “Digital Agenda and Artificial Intelligence to Redesign Tourism” යන තේමාව යටතේ අද (27) බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් ඇය පැවසුවේ, 2026 අයවැයෙන් ජාත්‍යන්තර ඩිජිටල් ප්‍රවර්ධන ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 6ක්ද, පරිසර හිතකාමී සහ සංස්කෘතික උරුම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 3.5ක්ද, ගුවන්තොටුපොළ නවීකරණයට මිලියන 1,000ක් සහ මානව සම්පත් සංවර්ධනයට මිලියන 500ක් වෙන් කර ඇති බවය.
පාසල් මට්ටමේ සංචාරක සමාජ (Tourism Clubs) හරහා සහ ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් සංචාරක ක්ෂේත්රය නව වෘත්තීය මාර්ගයක් ලෙස හැදෑරීමට අග්‍රාමාත්‍යවරිය එහිදී සිසුන්ට ආරාධනා කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“අද වනවිට සමස්ත ලෝකයම අතිශය වේගවත් ඩිජිටල් පරිවර්තනයකට ලක්වෙමින් පවතිනවා.
අපගේ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්රකාශනයේ ප්‍රධාන අරමුණක් වන්නේ රටේ සියලුම ක්ෂේත්‍ර නූතන තාක්ෂණයෙන් සහ සැබෑ ප්‍රතිසංස්කරණවලින් සන්නද්ධ කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමයි.
2024 වසරේ සිට මේ දක්වා අපි සංචාරක ක්ෂේත්රයේ විශාල පිම්මක් ඉදිරියට තබා තිබෙනවා. 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 20කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මිලියන 2.5ක් පමණ පැමිණි අතර, එයින් ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක ආදායමක් රටට ලැබුණා.
එම සාර්ථකත්වය තවත් ඉදිරියට ගෙනයමින් 2025 වර්ෂයේදී සංචාරකයින් 2,362,521ක් අපේ රටට පැමිණියා. ඒ හරහා ඩොලර් බිලියන 3.2ක විදේශ විනිමයක් උපයා ගැනීමට අපට හැකි වුණා.
අපි අමතක කළ යුතු නෑ, 2025 අපේ රටට සුළිකුණාටුවට මුහුණ දෙන්න සිද්ධ වුණේ සංචාරක සීසන් එකේ පීක් එක ඔන්න මෙන්න තියෙද්දී. ඒත් අපිට මේ විදිහට සාර්ථකව මේක කළමනාකරණය කරගැනීම ගැන අපි සියලු දෙනාම සතුටු වෙන්න ඕනේ.
අපගේ ප්‍රතිපත්තියට අනුකූලව සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් 2026 අයවැයෙන් පෙර නොවූ විරූ දැවැන්ත ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයන ඩිජිටල් ප්‍රවර්ධන ව්‍යාපාරය ඇතුළු සංචාරක ප්‍රවර්ධන වෙනුවෙන් රුපියල් බිලියන 6ක් වෙන් කරලා තියෙනවා.
මෙතන පාසල් දරුවොත් ඉන්න නිසා මම විශේෂයෙන් ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම මේ ක්ෂේත්‍රයත් ඔබේ වෘත්තීය ගමනේ ක්ෂේත්රයක් හැටියට දකින්න. ඒකත් පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්න.
ඒක මම හිතන්නේ අපි පාසල් මට්ටමේ ටුවරිසම් ක්ලබ්ස් හරහා ඒ ගැන දැනුවත් කිරීමත්, ඉදිරියේදී අපි ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒකේ වෘත්තීයමය භාවය පිළිබඳ දැනුවත් වීමට අවස්ථාත් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ ක්ෂේත්රය මේ විදිහට දියුණු කරන්න නම් මේකේ මානව සම්පතත් දියුණු විය යුතුයි. අපගේ ඉදිරියේ ඉලක්කය වන්නේ 2030 වන විට වසරකට සංචාරකයින් මිලියන හතරක් මේ රටට ගෙනමින් ඩොලර් බිලියන අටක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමයි.
ඒ අභියෝග ජයගැනීම සඳහා අපි වැදගත් ක්‍රමවේද කිහිපයක් ඔස්සේ ගමන් කළ යුතුයි.
සංචාරක ව්‍යාපාරයක් කියන්නේ නිකන් එයාර්පෝට් එකට එන ගණන් ගණන් කරන එක විතරක් නෙවෙයි. ඊට එහා ඒක රටේ සංවර්ධන ඉලක්ක එක්ක සම්බන්ධ වෙන්න ඕනේ.
ඒ සංචාරක ව්‍යාපාරය සමානාත්මතාවය සහ පරිසර හිතකාමී එකක් විය යුතුයි. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය තුළම තියෙන ක්‍රියාවලිය තුළින්, විශේෂයෙන්ම අපේ ස්වභාවධර්මය, අපේ පරිසරයට හානි නොවන විදිහට, සූරාකෑමට ඉඩ නොදී, ඒ කියන්නේ අපේ පරිසරය සූරාකෑමෙන් ආරක්ෂා කරමින් අපි කොහොමද ඉදිරියට යන්නේ කියන එකත් ගැන අපි හිතන්න වෙනවා.”
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR), ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඇතුළු ආයතන කිහිපයක් එක්ව මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර තිබිණි.
එමෙන්ම අත්තනගල්ල අලවල තිරසාර සංචාරක ගම්මානය ඩිජිටල් වේදිකාව ඔස්සේ ප්‍රවර්ධනය කිරීම සඳහා www.sltravel.lk වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.
කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් සිතියම්කරණය, සංකල්පීය යථාර්ථය (Virtual Reality) සහ ඩිජිටල් කථාකිරීමේ ක්‍රමවේද (Digital Storytelling) සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ කරගැනීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.




