
දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය මට්ටමට පැමිණෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ ගංගා කිහිපයක ජල මට්ටම් මේ වන විට සුළු ගංවතුර තත්ත්වක් දක්වා පැවතියත් එය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවය.
ඒ අනුව නිල්වලා ගඟේ හි තල්ගහගොඩ ජල මට්ටම තවමත් සුළු ගංවතුර මට්ටමක් දක්වා පැවැතියද එය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත්, ගිං ගඟෙහි ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණද බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා පවතින නමුත් එයද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මිල්ලකන්ද, කුඩා ගඟ ජල මට්ටම්ද සුළු ගංවතුර තත්ත්වයක් දක්වා පැවතියද එය ක්‍රමයෙන් මේ වන විට සාමාන්‍ය ජල මට්ටමක් කර පැමිණෙමින් පවතින බවද පෙන්වා දුන් ඒ මහතා වාරිමාර්ග දෙපාර්තම්න්තුව මගින් පාලනය වන අනෙකුත් ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයේ පවතින බවද සඳහන් කළේය.
එමෙන්ම අද දිනයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පුරෝකථනවල සඳහන් වනුයේ විශාල වර්ෂාපතනයක් ලැබීමේ පුරෝකථන නොවන බැවින් පවතින ගංගාවල ජල මට්ටම් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය නොවනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.




