
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට (22) සිට නැවත ආරම්භ කිරීමට හැකියාව පවතින බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) පවසයි.

ඒ අනුව, හෙට දිනයේ සිට නොරොච්චෝලේ බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකි වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්යතාවක් නොමැති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය සෙනසුරාදා ප්රධාන විදුලි පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වූ අතර, එහි බලපෑමෙන් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්රයක් ද අක්රිය වී තිබේ.
එහිදී නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්රයේ විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 187 සිට ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5 දක්වා පහත වැටී ඇති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම සඳහන් කරයි.
මේ වනවිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රියව පවතින අතර, ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 250කි. එම ජනන යන්ත්ර තුනෙන් දෙකක් නඩත්තු කටයුතු හේතුවෙන් මීට පෙර සිටම අක්රිය කර තිබුණි.
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවීම හේතුවෙන් ඊයේ (20) සහ පෙරේදා (19) යන දිනවල දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ද පියවර ගෙන තිබේ. එම විදුලි කප්පාදුව අද (21) දිනයේදීත් ක්රියාත්මක වේ.
කෙසේ වෙතත්, හෙට (22) සිට නොරොච්චෝලේ බලාගාරය යළි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්යතාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.




