
තුවාල ලැබූ නිලධාරීන්ටත් විශේෂ වන්දි – බන්ධනාගාර උපක්රමික බලකාය ශක්තිමත් කිරීමටත් කැබිනට් අනුමැතිය
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, රාජ්ය පරිපාලන චක්රලේඛ යටතේ දැනට ගෙවනු ලබන වන්දි මුදල්වලට අමතරව මෙම විශේෂ වන්දි මුදල් ගෙවීමට නියමිතය.
එම යෝජනාවට අනුව, ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ සෑම බන්ධනාගාර නිලධාරියෙකු වෙනුවෙන්ම රුපියල් මිලියන 5ක වන්දි මුදලක් ගෙවීමට නියමිත අතර, පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකු සඳහා ද රුපියල් මිලියන 5ක මුදලක් ලබාදීමට අනුමැතිය හිමිව ඇත.
මීට අමතරව, අර්ධ ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් උපරිම ඉපැයීමේ හැකියාව සියයට 100කින් අහිමි වූ නිලධාරියෙකු සඳහා රුපියල් මිලියන 4ක වන්දි මුදලක් ද, තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකු සඳහා රුපියල් මිලියන 3ක වන්දි මුදලක් ද ගෙවීමට තීරණය කර තිබේ.
බන්ධනාගාර උපක්රමික බලකායට නෛතික බලය
මේ අතර, බන්ධනාගාර උපක්රමික බලකායට නෛතික තත්ත්වයක් ලබාදීම සඳහා අවශ්ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එම බලකායේ කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් සුදුසුකම් සහිත ප්රමාණවත් නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමටත්, අදාළ ක්ෂේත්රයන්හි විධිමත් පුහුණුවක් ලබාදීමටත් මෙහිදී තීරණය කර තිබේ.
තවද, බලකායේ කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්ය නවීන උපකරණ ලබාදීමටත්, එහි මූලස්ථානය සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම පියවර මගින් බන්ධනාගාර උපක්රමික බලකායේ නෛතික පදනම ශක්තිමත් කිරීම මෙන්ම එහි මෙහෙයුම් සූදානම සහ ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීම ද අපේක්ෂා කෙරේ.




