
එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් පැවති සමයේ ත්රස්තවාදීන් විසින් උතුරුකරයේ වළදමා තිබෙන අවි ආයුධ දකුණේ සිදුකෙරෙන අපරාධ සඳහා යොදා ගන්නා බවට සැකයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන වෙත දැන්වීය.
ජීව අත්බෝම්බ 86ක්, ටී 56 වර්ගයේ පතරොම් 321ක්, පැති අවි පතරොම් 3ක් හා මත්කරල් 5,600ක් සමඟ අත්අඩංගුවට ගත් අයෙකු ඇතුළු වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියන සැකකරුවන් තිදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ බව අධිකරණය හමුවේ පැවැසීය.
වව්නියාව නෙරියකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කාරියක්පෙරුම රමේෂ්, ඇන්තනී ප්‍රනාන්දු හා මොහොමඩ් රාසික් නමැති සැකකරුවන් තිදෙනෙකු එසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
එම සැකකරුවන් තිදෙනා වව්නියාව කොට්ඨාස විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාර දුන් බව ද එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.
දකුණේ අපරාධයක් සිදු කිරීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් රැගෙන වව්නියාව ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයකු ඉකුත් 21 වන දා පොලිසිය විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට පෙන්වා දුන්නේය.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පැවති සමයේ උතුරුකරයේ සඟවාගෙන තිබෙන ගිනි අවි දකුණේ සිදු කරන අපරාධ සඳහා ඔවුන් යොදාගෙන තිබේද? එම අවි ආයුධ දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට විකුණා මුදල් ලබාගෙන තිබේද? යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ යුතුව ඇතැයිද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය. එවැනි අවි දකුණේ පාතාල ක්‍රියාකාරීන් වෙත විකුණා මුදල් ලබාගෙන තිබේද යන්න පිළිබඳව සිදුකෙරෙන විමර්ශන සඳහා සැකකරුවන් තිදෙනාගේ බැංකු වාර්තා ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසද එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හා ඔවුන්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නේය.




