
යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට ඉරානය කැමැත්තෙන් පසුවන බවත්, ඒ අනුව එවැනි එකඟතාවක් ඇති කර ගැනීමට හැකියාවක් පවතින බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඉරානය හැකි ඉක්මනින් සාකච්ඡාමය විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බවය.
කෙසේ වෙතත්, එවැනි ගිවිසුමක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ට්‍රම්ප් විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.
මේ අතර, වොෂින්ටනය සමඟ වක්‍ර සාකච්ඡා පැවැත්වෙන බව ටෙහෙරානය විසින් අනාවරණය කර තිබේ.
එමෙන්ම දැඩි කොන්දේසි යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ද ඉරානය යෝජනා කර ඇත.

ඉරානය සමඟ එකඟතාවකට එළඹීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම තමන් ද සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටින බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ප්‍රකාශ කර තිබේ.
පසුගිය සතියේදී වැන්ස් උප ජනාධිපතිවරයා ඉරානයේ ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත ලිපියක් යොමු කර තිබුණ ද, එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.
කෙසේ වෙතත්, එම ලිපිය ඉරානයට වෛද්‍ය සැපයුම් ඇතුළු විවිධ ආධාර ලබාදීම සම්බන්ධයෙන් යොමු කළ එකක් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.
මේ අතර, අදාළ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී වැන්ස් උප ජනාධිපතිවරයා සඳහන් කළේ අමෙරිකාව සහ ඉරානය අතර එකඟතාවකට එළඹීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් පවතින බවය.
“අප ඉරාන පාර්ශ්වය සමඟ යහපත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මම පැයකට පමණ පෙරත් අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. සාකච්ඡාමය එකඟතාවකට එළඹීමේ අපේක්ෂාවන් පිළිබඳව ජනාධිපතිවරයාත් මමත් සුබවාදීව පසුවනවා. ඒ වෙනුවෙන් අප තවදුරටත් කටයුතු කරනවා.”




