
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ බාල ප්‍රතිදේහ ඖෂධ (Human Immunoglobulin) ආනයනය කිරීමේ නඩුවේ විත්තිවාචකය ආරම්භ වීමත් සමඟ මෙතෙක් අවධානයට ලක් නොවූ කරුණු රැසක් අධිකරණය හමුවට ඉදිරිපත් වී තිබේ.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන මෙම නඩුවේ 8 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විත්ති කූඩුවේ සිට සිදුකළ ප්‍රකාශය සහ විත්තිය ඉදිරිපත් කළ නිල ලේඛන මඟින් හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ කරුණු කිහිපයක් අනාවරණය වී ඇත.
විශේෂයෙන්ම හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවට සඳහන් රැස්වීම් දෙකක්, මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීම සහ ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී තිබේ.
කෙහෙළිය රටේ නොසිටි දිනවල ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වුණේ කෙසේද?
මෙම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන ලේඛන අතර හදිසි ඖෂධ ප්‍රසම්පාදන තීරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වූ බව කියන රැස්වීම් සටහන් ද ඇතුළත් වේ.
2022 සැප්තැම්බර් 05 සහ ඔක්තෝබර් 10 යන දිනවල අදාළ රැස්වීම් තම ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවට ලේඛනවල සඳහන් වුවද, එම දිනවල තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොසිටි බව කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
2022 සැප්තැම්බර් 05 වැනිදා තමන් භූතානයේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 75 වැනි සැසිවාරයට සහභාගී වෙමින් සිටි බව ඔහු පෙන්වා දී ඇත.
ඒ බව සනාථ කිරීම සඳහා ගුවන්ගමන් බලපත්‍රයේ ආගමන විගමන මුද්‍රා, නිල සමුළු වාර්තා සහ ඡායාරූප අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
එසේම 2022 ඔක්තෝබර් 10 වැනිදා අදාළ රැස්වීම පැවැත්වූ බව සඳහන් වේලාවේදී තමන් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ Yaden Laboratories ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී සිටි බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් සමරු ඵලකයේ දින සටහන්, ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප සහ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ දුරකථන කුළුණු පිහිටීම් වාර්තා ද අධිකරණයේ අවධානයට යොමු වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ අදාළ රැස්වීම් සටහන් සකස් කළේ කවුරුන්ද සහ ඒවා අමාත්‍යාංශ ලිපිගොනුවලට ඇතුළත් වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතුව තිබේ.
හදිසි ඖෂධ ප්‍රසම්පාදනයට මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමක්?
නඩු විභාගයේදී ඉදිරිපත් වූ තවත් වැදගත් කරුණක් වන්නේ හදිසි ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් වූ ආකාරයයි.
විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය මුලින් ඉල්ලා තිබුණේ කොවිඩ් සමයේ ක්‍රියාත්මක වූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ තවදුරටත් දීර්ඝ කිරීමටය.
එහෙත් එම යෝජනාව ප්‍රතික්ෂේප කර නව හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දී කැබිනට් අනුමැතිය ලබාගැනීමට නිර්දේශ කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ සහ උපදෙස් අනුව බව අධිකරණයේදී අනාවරණය වූ බව සඳහන් වේ.
එම කාලයේ මුදල් අමාත්‍ය ධුරය හොබවනු ලැබුවේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.
ඒ අනුව මෙම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සීමා වූවක්ද, නැතහොත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වූවක්ද යන්න පිළිබඳව අවධානය යොමු වී ඇත.
සාගල රත්නායකගේ නමත් අධිකරණයේ අවධානයට
හදිසි ඖෂධ මිලදී ගැනීම්වලට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීම් මුදල් අමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ බවට වන ලේඛන ද විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එම සාකච්ඡාවල සම්බන්ධීකරණ කටයුතු සහ පසු විපරම් කටයුතු සඳහා එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සම්බන්ධ වී ඇති බවට වන ලිපි ලේඛන සහ සටහන් ද අධිකරණයේ අවධානයට යොමු කර ඇත.
අදාළ තීරණවල ප්‍රගතිය සම්බන්ධ ලිපිගොනු ජනාධිපති ලේකම්වරයා සහ සාගල රත්නායක වෙත නිල වශයෙන් යොමු කර ඇති බවද එම ලේඛන මඟින් පෙන්වා දී තිබේ.
මේ අනුව හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පරිපාලන සම්බන්ධීකරණය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබ්බට විහිදී තිබුණේද යන්න පිළිබඳව ප්‍රශ්න මතුව ඇත.
CID විමර්ශන සියලු පාර්ශ්ව වෙත යොමු වී තිබුණාද?
මෙම නඩුවේදී ඉදිරිපත් වූ ලේඛන හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල විෂය පථය පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.
විශේෂයෙන්ම හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීමේදී මුදල් අමාත්‍යාංශය දැක්වූ මැදිහත්වීම, ප්‍රගති සමාලෝචන රැස්වීම් සම්බන්ධීකරණය සහ අදාළ රැස්වීම් සටහන් සකස් වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් විමර්ශනයක් සිදුකර තිබුණේද යන්න මෙහිදී අවධානයට ලක්ව ඇත.
විමර්ශන සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සීමා වූයේද, නැතහොත් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වූ සමස්ත පරිපාලන යාන්ත්‍රණයම විමර්ශනයට ලක්වූයේද යන්න මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුවකි.
බාල බෙහෙත් නඩුවේ ඉදිරි විභාගයට අවධානය
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ විත්තිවාචකය සහ අධිකරණයට ඉදිරිපත් වූ නිල ලේඛන හේතුවෙන් බාල ප්‍රතිදේහ ඖෂධ ආනයනයට අදාළ පරිපාලන තීරණ සහ ඒවාට සම්බන්ධ වූ පාර්ශ්ව පිළිබඳව නව ප්‍රශ්න රැසක් මතුව තිබේ.
කෙසේ වෙතත්, විත්තිය විසින් ඉදිරිපත් කළ මෙම කරුණු අධිකරණය විසින් අවසන් වශයෙන් තහවුරු කළ නිගමන ලෙස සැලකිය නොහැකි අතර, නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වේ.
මෙම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සැබෑ පරිපාලන පසුබිම, අදාළ තීරණ ගැනීමට සම්බන්ධ වූ පාර්ශ්ව සහ රැස්වීම් සටහන්වල නිරවද්‍යතාව පිළිබඳව සම්පූර්ණ කරුණු අනාවරණය වීම, මෙම නඩුව සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සහ යුක්තිය ඉටුවීම සඳහා වැදගත් වනු ඇත.
තොරතුරු – හරි දේශය





1 thought on “බාල බෙහෙත් නඩුවේ අලුත් හෙළිදරව්වක්! කෙහෙළියගේ නමින් රැස්වීම් වාර්තා හැදුණේ කෙසේද? රනිල් සහ සාගලගේ සම්බන්ධීකරණයත් අධිකරණයේ අවධානයට”