
ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත දරු උපත්වලින් සියයට 10ක් පමණ නොමේරූ දරු උපත් වන බවත්, එම ළදරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සඳහා අඛණ්ඩ වෛද්‍ය අධීක්ෂණය සහ දිගුකාලීන පසු විපරම් සත්කාර අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.

ගර්භණී කාලය සම්පූර්ණ වීමට පෙර උපත ලබන මෙම ළදරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ හැකියාව වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමෙන් පමණක් සෞඛ්‍ය සේවාවේ වගකීම අවසන් නොවන බව විශේෂඥයන්ගේ අදහසයි.
නොමේරූ ළදරුවන්ගේ පෙනීම, ශ්වසන පද්ධතිය සහ සමස්ත ශාරීරික හා මානසික වර්ධනය සම්බන්ධයෙන් විවිධ සංකූලතා ඇතිවිය හැකි අතර, ඇතැම් සෞඛ්‍ය ගැටලු නවජ දැඩි සත්කාර ඒකකයෙන් (NICU) නිදහස් කිරීමෙන් පසුවද මතුවිය හැකි බව පෙන්වා දී ඇත.
එබැවින් එවැනි සංකූලතා කල්තියා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා නිතිපතා වෛද්‍ය පරීක්ෂණ, සංවර්ධන තක්සේරු කිරීම් සහ අඛණ්ඩ පසු විපරම් සේවා පවත්වාගෙන යාම වැදගත් වේ.
නොවැම්බර් 15 වැනිදා ලෝක නොමේරූ ළදරු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නවජ සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ සංගමයක් විසින් සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙම කරුණු අවධාරණය කෙරිණි.
එම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරා ගැනීමෙන් පමණක් සෞඛ්‍ය සේවා පද්ධතියේ වගකීම අවසන් නොවිය යුතු බවයි.
නවජ දැඩි සත්කාර ඒකකවලින් ප්‍රතිකාර ලබා පිටව යන ළදරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සහ සංවර්ධනය තහවුරු කර ගැනීම සඳහා සුදුසු පසු විපරම් සත්කාර ලබා දීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.
නොමේරූ ළදරුවන් සඳහා ලබාදෙන සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය, වෘත්තීය සංගම්, පෞද්ගලික අංශය සහ අනෙකුත් අදාළ පාර්ශ්ව අතර සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යා යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ අනාගත සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්ද එම දැනුවත් කිරීමේ වැඩසටහනේදී එළිදක්වා තිබේ.
එමඟින් නොමේරූ ළදරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස්, ඔවුන්ගේ දිගුකාලීන සෞඛ්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ඉස්මතු කෙරේ.




