
ශ්‍රී ලංකාවේ වත්මන් රජය යටතේ පවතින විනිවිදභාවය සහ දූෂණයෙන් තොර පාලන ක්‍රමවේදය හේතුවෙන් ජපන් ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට වැඩි උනන්දුවක් දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන සිදුකිරීමට බාධා පමුණුවන යල්පැනගිය නීති රීති කඩිනමින් සංශෝධනය කිරීමට රජය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම බැංකු ක්ෂේත්රය ඇතුළු ආයෝජන හා සම්බන්ධ සියලු රාජ්‍ය ආයතනවල පුළුල් ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමටද රජය සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සමගාමීව මෙරටට පැමිණි ප්රමුඛ පෙළේ ජපන් ව්‍යාපාරික නියෝජිත පිරිසක් සමඟ පැවති විශේෂ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ආයෝජකයන්ට බාධාවක් නොවන පරිසරයක්
පසුගිය පාලන සමයන්හිදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය ආයෝජකයන් විවිධ ප්‍රායෝගික දුෂ්කරතාවලට මෙන්ම අතරමැදියන්ගේ වංචා සහ අක්රමිකතාවලටද මුහුණ දුන් බව අශෝක රන්වල මහතා සිහිපත් කළේය.
ආයෝජනය කළ මුදල් පවා අහිමිවීමෙන් පසු ඒවා නැවත ලබාගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවීම ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවට මහත් ලැජ්ජාවක් ගෙන දුන් කරුණක් බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, වත්මන් පාලනය යටතේ ආයෝජකයන්ට දේශපාලනඥයන්ගේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ සාක්කු පිරවීමට හෝ කොමිස් මුදල් ලබාදීමට අවශ්‍ය නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට සහතිකයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා ඕනෑම තරාතිරමක පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද අශෝක රන්වල මහතා සඳහන් කළේය.
ඒ හරහා ආයෝජකයන්ට සුරක්ෂිතව තම ආයෝජන කටයුතු සිදුකළ හැකි පරිසරයක් රට තුළ තහවුරු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




