
හිටපු අමාත්‍ය සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන්, හෙවත් පිල්ලෙයාන් මහතා, ඝාතන සිද්ධීන් පහකට සම්බන්ධ වී ඇත්දැයි සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙපාර්තමේන්තුව පවසයි.
එම වාර්තා අනුව, විශේෂ විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ සඳහා යොදවා ඇති අතර, අදාළ සිද්ධීන් අතර පොලිස් නිලධාරියෙකු ඝාතනයට ලක්වීමද ඇතුළත් වේ.
මෙම විමර්ශන මූලික වන්නේ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට ආශ්‍රිතව සිදුකරන පරීක්ෂණයයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු අතුරුදන් වීම පිළිබඳවද විමර්ශනයක් සිදුවෙමින් පවතින බවද සඳහන් වේ.
පරීක්ෂණ කණ්ඩායම් මඩකළපුව ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින අතර, සැකකරුවන් කඳවුරු පවත්වාගත් ස්ථාන නිරීක්ෂණය කරමින්, පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයිද පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.
එම පරීක්ෂණවලට අදාළව පිල්ලෙයාන් මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර, වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් අනුව සිදු කරනු ලබයි.




