
පසුගිය මාස 18 ක කාලය තුළ උතුරු පළාතේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරු ගණනාවක් ඉවත් කර ජනතාවට අයත් විශාල ඉඩම් ප්රමාණයක් යළි නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
එමෙන්ම ඉදිරි කාලයේදී නිදහස් කළ හැකි තවත් ඉඩම් ප්රමාණයක් මේ වන විටත් හඳුනාගෙන ඇති බවත්, ඒවා ජනතාවට ලබා දීම සඳහා පවතින හමුදා කඳවුරු වෙනස් කිරීම සහ ඒවායේ ප්රමාණයන් අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

එම ඉඩම් නිකන්ම ලබාගත නොහැකි බවත්, විධිමත් ක්රමවේදයක් හරහා හමුදා කඳවුරු ප්රතිව්යුහගත කිරීමෙන් එම කටයුත්ත සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු අවධාරණය කළේය.
තම රජය උතුරේ ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් බැවින් ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීමට බැඳී සිටින බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා මහතා, රුපියල් බිලියන 500ක (කෝටි 50,000ක) මුදල් වෙන් කිරීම් වැනි කරුණු හේතුවෙන් මේ වසරේ මැතිවරණයක් පැවැත්වීමට අපහසු වුවද, වෙනත් ගැටලු මතු නොවන්නේ නම් ලබන වසරේදී මැතිවරණ පවත්වනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.
මීට අමතරව, ශ්රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර පවතින ඉතා සමීප සහ මිත්රශීලී සබඳතාව හේතුවෙන්, මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.




