
අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 83 වැනි වාර්ෂික පෙරහැර මෙවර නොපැවැත්වීමට තීරණය කර ඇත. පාතාල කල්ලිවලින් එල්ල වූ මරණීය තර්ජන සහ දේවාලයේ පාලන අධිකාරිය මුහුණ දී ඇති නීතිමය ගැටලු මීට ප්‍රධාන හේතු වී තිබේ.

මීට පෙර අවස්ථාවක පාතාල සාමාජිකයින් පිරිසක් දේවාල භූමියට කඩා වැදී එහි සිටි පිරිසට මරණීය තර්ජන එල්ල කර පලවා හැර ඇති අතර, එතැන් සිට දේවාලයේ කටයුතු අඩාල වී ඇත.
සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම පෙරහැර සඳහා මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව ද වාර්තා වේ.
මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇත්තේ දේවාලයේ කපු මහතා වන දිනේෂ් කුමාර නමැත්තා රුපියල් කෝටි 33ක මුදල් විශුද්ධිකරණ චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමත් සමඟය.
ඔහු පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘අනුරුද්ධ’ නමැත්තාගේ කළු සල්ලි සිය ගිණුම් හරහා සංසරණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
මීට අමතරව, පෙරහැර සංවිධායක කමිටුවේ සභාපතිවරයාට ද මීට පෙර පාතාල ප්‍රහාරයක් එල්ල වී තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.
දේවාලය වසා දමා තිබීම හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ධීවර ජනතාව අසීරුතාවට පත්ව සිටිති. මුහුදු යාමට පෙර දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගැනීම ඔවුන්ගේ චාරිත්‍රයක් වුවද, මේ වන විට දේවාලයේ දොරටු වසා දමා තිබීම ඔවුන්ගේ කනස්සල්ලට හේතු වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා පවසන්නේ, මෙම දේවාලය නගර සභාව යටතේ පාලනය වන්නක් නොව භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන්නක් බවයි.
මේ අතර, පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ බැතිමතුන්ට දේවාලයට පැමිණීමට අධිකරණයෙන් තහනමක් පනවා නොමැති වුවද, පවතින නීතිමය සහ ආරක්ෂක තත්ත්වයන් මත එහි කටයුතු මෙලෙස අඩාල වී ඇති බවයි.




