
එළඹෙන 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජන රැළියට බියෙන්, ඊට පෙර තමන් අත්අඩංගුවට ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලේය.
රජය මේ වන විට දැවැන්ත මර්දනයක් දියත් කර ඇති බවත්, 12 වැනිදා අනුරාධපුරයට පැමිණෙන ජන ගඟ වැළැක්වීම සඳහා තමන්ව සිරගත කිරීමට පවා රජය පසුබට නොවන බවත් ඔහු පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ශෛලිය විවේචනය කළ මන්ත්‍රීවරයා, තමන් කිසිවිටෙකත් මිනීමැරුම් හෝ ගිනි තැබීම් හරහා බලය ලබා ගැනීමට උත්සාහ නොකරන බව අවධාරණය කළේය. එසේම, රාජපක්ෂවරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වන ‘සාටකය’ සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, මැතිවරණ ජයග්රහණයෙන් පසු ඇඳුම් මාරු කරන දේශපාලනඥයන් මෙන් නොව, තමන් කිසිවිටෙකත් තම අනන්‍යතාවය හෝ සාම්ප්‍රදායික ඇඳුම වෙනස් නොකරන බවයි.
“සමහරු දිනන කොට එක ඇඳුමක් අඳිනවා, පැරදෙන කොට තව ඇඳුමක් අඳිනවා. ජනතා විරෝධයක් එනකොට තව විදියකට හැසිරෙනවා. නමුත් අපි අවංකව අපේ අනන්‍යතාවය රැකගෙන දේශපාලනය කරනවා. ඒ නිසා අපේ ඇඳුම ගලවන්න ලේසි වෙන්නේ නැහැ,” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රජයේ පෞද්ගලික අවශ්‍යතාවක් මත සිදුකරන්නක් බවයි. මේ හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයා පවා දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත්, මෑතකදී ඔහු මාධ්‍ය හමුවේ පෙනී නොසිටින්නේ ඒ නිසා විය හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.




