
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුවේ ප්‍රසිද්ධ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළත්ව විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගී වෙමින් සිටින බව වාර්තා වේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක සතියකට ආසන්න කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇති ශිරන්ති රාජපක්ෂ මහත්මිය, එම රෝහලෙන් පිටවීමෙන් අනතුරුව කෙලින්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් ඇති බව සඳහන් වේ.
ගුවන්තොටුපළේදී FCID කැඳවීමේ ලිපිය භාරදීලා
“සිරිලිය සවිය” පදනම සම්බන්ධයෙන් සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් පිළිබඳ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබේ.
අදාළ කැඳවීමේ ලිපිය මුලින් තංගල්ල කාල්ටන් නිවස වෙත යොමු කර තිබූ බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදේශගත වීමට සූදානම් වන බවට තොරතුරු ලැබීමත් සමඟ FCID නිලධාරීන් කඩිනමින් ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සඳහන් වේ.
එහිදී ඇය ගුවන් යානයට ගොඩවීමට ආසන්නව සිටියදී අදාළ කැඳවීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.
“නීතියෙන් පලා යාමක් නොවේ” – මාධ්‍ය ප්‍රකාශක
මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ විදෙස් සංචාරය නීතියෙන් පලා යාමේ උත්සාහයක් බවට පළවන අදහස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රතික්ෂේප කරයි.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදෙස්ගත වී ඇත්තේ පවතින සෞඛ්‍ය තත්ත්වය සඳහා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් පමණක් බවයි.
ඇය සැප්තැම්බර් 19 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව, නියමිත පරිදි සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිටීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.




