
ඉන්දියාවේ ප්රමුඛ රාජ්ය බැංකුවක් වන සෙන්ට්රල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා (Central Bank of India) විසින් ඉන්දීය මහ බැංකුව (RBI) සමඟ පවත්වාගෙන යන පියවීම් ගිණුමකින් ඉන්දීය රුපියල් කෝටි 13.97ක මුදලක් අනවසරයෙන් මාරු කිරීම සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඔක්තෝබර් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා දින තුනක කාලයක් තුළ සිදු වූ මෙම සිදුවීමට අදාළව අනවසර ගනුදෙනු 187ක් හඳුනාගෙන ඇති අතර, එම මුදල් වෙනත් බැංකු ගිණුම් 36ක් වෙත මාරු කර ඇති බව වාර්තා වේ.
විමර්ශන තොරතුරුවලට අනුව ඔක්තෝබර් 15 වැනිදා ගනුදෙනු හයක් සිදු කර ඇති අතර, ඔක්තෝබර් 16 වැනිදා එම සංඛ්යාව 88ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්තෝබර් 17 වැනිදා තවත් ගනුදෙනු 93ක් සිදු කර ඇති බව සඳහන් වේ.

ගනුදෙනු සිදු වූ ආකාරය ගැන ගැටලු
මෙම ගනුදෙනු සඳහා මුදල් ගෙවූ පාර්ශ්ව ලෙස සඳහන් කර ඇති ගිණුම් තම බැංකුවට අයත් ඒවා නොවන බව සෙන්ට්රල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා කළමනාකාරිත්වය පවසා තිබේ.
බැංකුවේ අභ්යන්තර විගණන කණ්ඩායම් සිදු කළ පරීක්ෂණවලදී එහි ශාඛා, අන්තර්ජාල බැංකුකරණය හෝ ජංගම බැංකුකරණ පද්ධති හරහා මෙම ගනුදෙනු සිදු වූ බවට සාක්ෂි හමු වී නොමැති බව ද වාර්තා වේ.
මේ හේතුවෙන් මුදල් අනවසරයෙන් මාරු කළ ආකාරය හඳුනා ගැනීම විමර්ශකයන්ට අභියෝගයක් වී ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
SFMS ජාලයට සයිබර් ප්රහාරයක් එල්ල වූවාද?
ඉන්දීය බැංකු අතර මුදල් හුවමාරු සම්බන්ධ පණිවිඩ හුවමාරුව සඳහා භාවිත කරන ප්රධාන පද්ධතියක් වන SFMS (Structured Financial Messaging System) ජාලය මෙම සිදුවීමේදී භාවිත කර ඇති බවට සැක පළ වී තිබේ.
ඉන්දීය මහ බැංකුවට අයත් IFTAS ආයතනයේ මධ්යම සර්වරය වෙත සෙන්ට්රල් බෑන්ක් ඔෆ් ඉන්ඩියාහි මූලික බැංකු පද්ධතිය (Core Banking System) හරහා ප්රවේශ වී ඇති බවට ද සැකයක් පවතී.
එම පද්ධතිය ඔස්සේ ව්යාජ මුදල් හුවමාරු පණිවිඩ නිර්මාණය කර ගනුදෙනු සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව වාර්තා වේ. කෙසේ වෙතත්, සයිබර් ප්රහාරයක් සිදු වූ බවට හෝ එහි නිශ්චිත ක්රමවේදය පිළිබඳව අවසන් තහවුරු කිරීමක් මෙතෙක් අනාවරණය වී නොමැත.
ජාතික සයිබර් ආරක්ෂණ ආයතනත් විමර්ශනයට
සිද්ධිය අනාවරණය වීමෙන් පසු බැංකු බලධාරීන් මේ පිළිබඳව ඉන්දීය මහ බැංකුව, IFTAS ආයතනය සහ ‘Daksh’ පද්ධතිය වෙත දැනුම් දී තිබේ.
එමෙන්ම ඉන්දියාවේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් ආරක්ෂණ මධ්යස්ථානය (NCIIPC) සහ ඉන්දීය පරිගණක හදිසි ප්රතිචාර කණ්ඩායම (CERT-In) වෙත ද මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
වංචා කිරීම සහ වෙනත් පාර්ශ්වයන් ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ නාඳුනන පුද්ගලයන්ට එරෙහිව පොලිසිය විසින් පළමු තොරතුරු වාර්තාවක් (FIR) ගොනු කර තිබේ.
අතුරුදන් වූ මුදල් සොයා ගැනීම, ගනුදෙනු සිදු කළ පුද්ගලයන් හඳුනා ගැනීම සහ මෙම සිදුවීමට සම්බන්ධ තාක්ෂණික දුර්වලතා අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්රියාත්මක වේ.




