
29 හැවිරිදි දෙදරු පියාගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීමක්
මත්ද්රව්ය සම්බන්ධ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී මියගිය 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාරගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහුගේ මරණය සම්බන්ධයෙන් පළවන වාර්තා සහ පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති කරුණු අතර පවතින පරස්පරතා හේතුවෙන් සිද්ධිය පිළිබඳ ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීම අත්යවශ්ය බව එම සංගමය අවධාරණය කරයි.
වාර්තා වන පරිදි, ඔක්තෝබර් 25 වැනිදා උදෑසන පොලිස් ස්ථානයට ගොස් සැකකරුගේ තත්ත්වය විමසා බැලූ ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ ඔහුගේ සිරුරේ පහරදීම්වලට ලක්වූ බවට සැක කළ හැකි ශාරීරික තුවාල දක්නට ලැබුණු බවයි.
කෙසේ වෙතත්, පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කර ඇත්තේ මෙහෙයුමක් අතරතුර සැකකරු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී ඇති බවත්, පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගිය බවත්ය.
මෙලෙස ඉදිරිපත් වන පරස්පර කරුණු සැලකිල්ලට ගනිමින් මරණයට හේතු වූ තත්ත්වයන් නිවැරදිව තහවුරු කරගැනීම සඳහා පුළුල් හා විශ්වසනීය විමර්ශනයක් අවශ්ය බව ශ්රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව රාජ්යයේ වගකීමක්
අත්අඩංගුවේ පසුවන සෑම පුද්ගලයෙකුගේම ජීවිතය, සෞඛ්යය සහ ශාරීරික ආරක්ෂාව තහවුරු කිරීම රාජ්යයේ මූලික වගකීමක් බව ද එම සංගමය අවධාරණය කර තිබේ.
එමෙන්ම, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(4) වගන්තිය මඟින් නීතියෙන් නියම කර ඇති ක්රියාපටිපාටියට අනුව හැර කිසිදු පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි කළ නොහැකි බව ද නිවේදනයෙන් පෙන්වා දී ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණය විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර, හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මූලික විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
පොලිස්පතිවරයාගෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
සිද්ධියට අදාළ සියලු කරුණු සාධාරණ සැකයකින් තොරව තහවුරු කරගැනීමට හැකි වන පරිදි වහාම අපක්ෂපාතී හා පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
සංගමයේ සභාපති රජිව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සිද්ධිය පිළිබඳ සියලු කරුණු විනිවිදභාවයෙන් විමර්ශනය කිරීම මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා අත්යවශ්ය වන බවයි.




