
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි ජන්ම දිනය අද (18) දිනට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සංවේදී සටහනක් පළ කරමින් පියාට උපන්දිනයේ සුබ පැතුම් එක්කර ඇත.
1945 නොවැම්බර් 18 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා, දශක පහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ දේශපාලනඥයෙකි.
මෙරට පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 සිට 2015 දක්වා කටයුතු කළ ඔහුගේ පාලන සමයේදී, 2009 වසරේදී දශක තුනකට ආසන්න කාලයක් පැවති මෙරට සිවිල් යුද්ධය අවසන් විය. එය ඔහුගේ දේශපාලන දිවියේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

1970 සිට ජනාධිපති ධුරය දක්වා දේශපාලන ගමන්මඟ
වෘත්තියෙන් නීතිඥයකු වන මහින්ද රාජපක්ෂ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1970 වසරේදීය.
ඉන් අනතුරුව මෙරට දේශපාලනයේ විවිධ තනතුරු හෙබවූ ඔහු, 2004 අප්‍රේල් 6 වැනිදා අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. 2005 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම දක්වා ඔහු එම තනතුරේ කටයුතු කළේය.
2005 නොවැම්බර් 19 වැනිදා සිය පළමු සය වසරක ජනාධිපති ධුර කාලය සඳහා දිවුරුම් දුන් රාජපක්ෂ මහතා, 2010 ජනවාරි 27 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් දෙවැනි ධුර කාලයක් සඳහා යළි තේරී පත්විය.
කෙසේ වෙතත්, තුන්වැනි ධුර කාලයක් අපේක්ෂාවෙන් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඔහු, මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පරාජයට පත්විය. ඒ අනුව 2015 ජනවාරි 9 වැනිදා ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් විය.
ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් මාස කිහිපයකට පසු යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට ඔහු දැරූ උත්සාහය ද සාර්ථක නොවීය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ජයග්‍රහණය ලබාගත නොහැකි වීම ඊට හේතු විය.
එසේ වුවද, එම මැතිවරණයේදී රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.
පියාගේ උපන්දිනය වෙනුවෙන් නාමල්ගෙන් සංවේදී සටහනක්
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් පළ කර තිබේ.
මුල් වාර්තාවට අනුව, මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා, මෙවර පියාගේ උපන්දිනයේදී ඔහු අසල සිට සුබ පැතීමට නොහැකිවීම පිළිබඳ සිය හැඟීම් එම සටහනෙන් ප්‍රකාශ කර ඇත.
පියාගෙන් ලැබුණු ආදර්ශ, දේශපාලන ජීවිතයේ අභියෝග සහ පියකු හා පුතකු අතර පවතින බැඳීම පිළිබඳව ද ඔහු එහිදී දීර්ඝ ලෙස අදහස් දක්වා තිබේ.
නාමල් රාජපක්ෂ මහතා පළ කළ බව සඳහන් එම සටහන පහතින් දැක්වේ.
නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් සටහන
උපුටා ගැනීම
ආදරණීය තාත්තේ,
මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකි ව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන් ව මේ අසීරු කාලය ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ බැමිවලට එහා ඔබ වෙනුවෙන් මට ඇති ආදරයත්, ගෞරවයත් අසීමිතව දැනෙන බව සටහන් කරමි.
ජීවිතයේ අප කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී අපට ශක්තියක් වන්නේ අපේ දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම්ය.
තාත්තේ, නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොවන බව ඔබ අපට කියා දුන්නේය. එය වගකීම් භාර ගැනීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීමත් බව ඔබගේ ජීවිතයෙන් අපට පෙන්වා දුන්නේය.
අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී, මාතෘ භූමියේ දහසක් මව්වරුන්, පියවරුන් මෙන්ම ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් කිසිවෙකුට බිය නොවී සාමය උදා කළ අභීත නායකයා ඔබයි. ඒ වෙනුවෙන් ඔබ දැරූ වගකීම්, කැපකිරීම් සහ අභියෝග හමුවේ ඔබ දරාගත් බොහෝ දෑ පිළිබඳව මම පුතෙකු ලෙස ඉතා සමීපව දනිමි.
අද මම මුහුණ දෙන මේ අසීරු කාලය තුළ, ඔබ මට කියා දුන් ඉවසීම, ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානයේ වටිනාකම තවත් ගැඹුරින් අවබෝධ කරගනිමින් සිටිමි. පියෙකුගේ හිත කෙතරම් ශක්තිමත් විය යුතු දැයි මා උගත්තේ ඔබගෙනි. දරුවකු කෙරෙහි ඇති ධාරක ස්නේහය හදවතේ ගැඹුරුම තැන හොවාගෙන ශක්තිමත් පියෙකු ලෙස ලෝකය ඉදිරියේ සමස්ත දැයේ දුවා දරුවන්ටත් පියෙකු වන්නට හැකි වන්නේ කෙසේදැයි මා උගත්තේ ඔබගෙනි. මේ සියල්ල දරා ගනිමින් සත්‍යය වෙනුවෙන් සටන් කරන මමද පියෙකි. අද ඔබ අසලින් සිටින්නට මට නොහැකි වුණත්, ඔබේ ලේ උරුමයෙන් ලද මගේ දරුවන් අද ඔබ අසල සිටිනු ඇත. මා වෙනුවෙන් ඔවුන් ඔබව වැළඳ ගනු ඇත. දෑත් වලින් ඔබ ව වැළඳ ගත නොහැකි නිසා, අකුරුවලින් ඔබ වැළඳ ගැනීමට සිතුවෙමි. ඒ, පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම දුරස්ථභාවයෙන් බිඳ දැමිය නොහැකි නිසාය.
දේශපාලන පරිසරය තුළ ඔබට අත්දකින්නට සිදු වූ අසීරුතා මෙන්ම තාඩන පීඩන ගැරහුම් හමුවේ ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ යන මහපොළොවේ පය ගැසූ මගේ තාත්තාට, ඔබේ ආදරණීය ලොකු පුතා වන මම නිදුක් නිරෝගී සුවයත්, මානසික ශක්තියත්, අසීමිත ආදරයත් මෙසේ ලියා තබමි.
සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය තාත්තේ!
හදපිරි ආදරයෙන්,
ඔබේ ආදරණීය ලොකු පුතා,
නාමල්
උපුටා ගැනීම අවසන්




