
ගාල්ල ජාතික රෝහලේ විදුලි නඩත්තු කටයුතු සඳහා යොදවා සිටි විදුලි කාර්මිකයන් දෙදෙනෙකු වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 2.04ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලයේ 2025 වාර්ෂික විගණන වාර්තාවෙන් අනාවරණය කර තිබේ.
විගණන වාර්තාවට අනුව, එම සේවකයන් දෙදෙනා වෙනුවෙන් සාමාන්‍ය දිනයකදී දිනකට රුපියල් 30,024ක් ද, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවලදී රුපියල් 45,036ක් ද ගෙවා ඇත.
කෙසේ වෙතත්, ඔවුන් ඉටු කළ යුතු රාජකාරි සහ ගෙවීම් සම්බන්ධයෙන් විධිමත් ලිඛිත ගිවිසුමක් නොතිබූ බව විගණනය පෙන්වා දෙයි. එසේම, පැයකට රුපියල් 1,251ක ගෙවීමේ අනුපාතය තීරණය කළ පදනම ද විගණනයට ඉදිරිපත් කර නොමැත.

2025 ජනවාරි සිට ජූලි දක්වා සිදු කළ විදුලි නඩත්තු කටයුතුවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් සුළු නඩත්තු කටයුතු බව ද වාර්තාවේ සඳහන් වේ. එම කාලය තුළ මාසික නඩත්තු කටයුතුවලින් බල්බ් සවිකිරීමේ කටයුතු සඳහා වෙන් වූ ප්‍රතිශතය සියයට 8ත් 58ත් අතර පැවති බව ද එහි දැක්වේ.
රෝහලේ නඩත්තු අංශයටම මෙම කටයුතු සිදු කිරීමට හැකියාව තිබියදී විදුලි කාර්මිකයන් දෙදෙනෙකු වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 2.04ක් වැය කිරීම රජයේ මුදල් නිෂ්කාර්ය ලෙස වැයවීමට ඉඩ සැලසීමක් බව විගණනය සඳහන් කර ඇත.
රෝහල් බලධාරීන්ගේ කරුණු දැක්වීම
මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විගණනයට දැනුම් දී ඇත්තේ රෝහලේ ස්ථිර විදුලි තාක්ෂණ නිලධාරියෙකු හෝ විදුලි කාර්මික ශිල්පීන් නොමැති බවයි. එබැවින් හදිසි විදුලි නඩත්තු කටයුතු සහ ප්‍රධාන විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ කටයුතු ලංකා විදුලිබල මණ්ඩලයට පවරා තිබූ බව ඔවුන් පෙන්වා දී තිබේ.
මේ වන විට අදාළ විදුලි නඩත්තු සේවාව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ පෞද්ගලික අංශයට පවරා ඇති බව ද රෝහල් බලධාරීන් සඳහන් කර ඇත.
විදුලි නඩත්තු සේවා විධිමත් ගිවිසුම් සහ පිරිවැය ඵලදායිතාව මත ක්‍රියාත්මක කළ යුතු බව ජාතික විගණන කාර්යාලය සිය වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.




