
ඉන්දියාවේ පවතින අධික වර්ෂාපතනය සහ එල්නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙරටට ආනයනය කරන වියළි මිරිස් තොග නිදහස් කර ගැනීමේදී බාධා මතුව ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමේ අවදානමක් පවතින නමුත්, උත්සව සමය තුළ මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමට ආනයනකරුවන් එකඟ වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා විකල්ප වෙළෙඳපොළ සොයා බැලීමටද ඔවුන් එකඟතාව පළ කර තිබේ.
උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ආනයනකරුවන් පෙන්වා දී ඇත්තේ වියළි මිරිස් හැර අනෙකුත් සියලුම ආනයනික භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව මෙරට වෙළෙඳපොළට සැපයීමට හැකියාව පවතින බවයි.

වියළි මිරිස් තොගවල තෙතමනය ඉහළට
වියළි මිරිස් ආනයනයේදී මතුව ඇති ප්‍රධාන ගැටලුව එම තොගවල තෙතමන ප්‍රතිශතය ඉහළ යාම බව අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුව මෙරටට ආනයනය කරන වියළි මිරිස් තොග නිදහස් කර ගැනීම සඳහා ඒවායේ තෙතමන ප්‍රතිශතය සියයට 12ට අඩු විය යුතුය. එහෙත් ඉන්දියාවේ පවතින අධික වර්ෂාපතනය සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඇතැම් මිරිස් තොගවල තෙතමන ප්‍රතිශතය සියයට 13ත් 14ත් අතර මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් එම මිරිස් තොග අඩංගු බහාලුම් නිදහස් කර ගැනීමේදී ප්‍රමාදයන් මතුව තිබේ.
කෙසේ වෙතත්, මෙය වෙළෙඳපොළේ මිරිස් හිඟයක් නොව, ආනයනය කරන තොග අදාළ ප්‍රමිතීන්ට අනුකූලව නිදහස් කර ගැනීමේදී මතුව ඇති ගැටලුවක් බවද සමරසිංහ මහතා අවධාරණය කළේය.
මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් මෙරටට ලැබෙන මිරිස් තොගවල තෙතමන මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ලබන මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කළ හැකි අන්තර්කාලීන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ආනයනකරුවන් ඉල්ලීමක් කර ඇත.
අසාධාරණ මිල ඉහළ දැමීම්වලට එරෙහිව පියවර
සැපයුම් ගැටලු ප්‍රයෝජනයට ගනිමින් වියළි මිරිස් ඇතුළු භාණ්ඩවල මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කළහොත් රජය මැදිහත් වන බවද අමාත්‍යවරයා පැවසීය.
වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වීම රජයේ අපේක්ෂාව බව ඔහු සඳහන් කළේය. එහෙත් පවතින තත්ත්වය අවභාවිත කරමින් පාරිභෝගිකයන් සූරාකෑමට කටයුතු කළහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පාරිභෝගික සේවා කවුන්සිලය හරහා අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.
එවැනි අවස්ථාවක අවශ්‍ය වුවහොත් පාලන මිලක් නියම කිරීමටද රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




