
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නිර්මාණශීලීත්වය සහ නිෂ්පාදන හැකියාවන් ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන 34 වැනි FACETS Sri Lanka ප්‍රදර්ශනය 2027 ජනවාරි 4 සිට 6 දක්වා කොළඹ Cinnamon Life – City of Dreams පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන මෙවර ප්‍රදර්ශනයේදී ස්වර්ණාභරණ නිර්මාණ කලාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන FACETS, ශ්‍රී ලංකාවේ වර්ණවත් මැණික් සම්පතට අමතරව ඒවා ස්වර්ණාභරණ බවට පත් කරන නිර්මාණශීලීත්වය සහ නිෂ්පාදන කුසලතාව ද ජාත්‍යන්තරයට හඳුන්වා දීමට වේදිකාවක් සපයයි.
ස්වර්ණාභරණ අංශයේ වැඩසටහන මෙහෙයවන SLGJA උප සභාපති ෂෙසාඩ් කරීම් පවසන්නේ මෙවර වැඩසටහන ප්‍රධාන අංශ හතරක් යටතේ සංවිධානය කර ඇති බවයි.


වඩාත් පුළුල් ස්වර්ණාභරණ ප්‍රදර්ශන කලාපයක්
ප්‍රදර්ශනය මෙවර වඩාත් විශාල ප්‍රධාන ලුමිනා බෝල්රූම් ශාලාවට ගෙන යාමත් සමඟ ස්වර්ණාභරණ ප්‍රදර්ශන කලාපය එහි පිවිසුම ආසන්නයේ ස්ථාපිත කෙරේ. එහිදී ක්ෂේත්රයේ ස්ථාපිත ස්වර්ණාභරණ ආයතන සමඟ නව ප්‍රදර්ශකයන්ට ද සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.
මෙම කලාපය තුළ උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ එකතු මෙන්ම විශේෂ ඇණවුම් අනුව නිර්මාණය කළ ස්වර්ණාභරණ ද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
‘Bridges of Light’ නිර්මාණ තරගය
‘Bridges of Light’ යන තේමාව යටතේ පැවැත්වෙන ස්වර්ණාභරණ නිර්මාණ තරගය සඳහා වෙනම ප්‍රදර්ශන කලාපයක් වෙන් කර තිබේ. සාමය, එකමුතුකම සහ මානව සබඳතා යන අදහස් මෙම තේමාවෙන් නිරූපණය කෙරේ.
තරගයේ අවසන් වටයට තේරී පත් වූ නිර්මාණ 10ක් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ස්වර්ණාභරණ ආයතන කිහිපයක් විසින් නිෂ්පාදනය කරමින් පවතී. එම නිර්මාණ ප්‍රදර්ශනයේදී පළමු වරට එළිදක්වන අතර ජයග්‍රාහකයන් ද එහිදී ප්‍රකාශයට පත් කෙරේ.
නව නිර්මාණකරුවන්ට අවස්ථා ලබාදීම, නිර්මාණ ප්රමිතීන් ඉහළ නැංවීම සහ දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ඔවුන්ගේ නිර්මාණ ප්‍රචලිත කිරීම මෙම තරගයේ අරමුණු අතර වේ.
‘Sapphire Night’ සහ ‘The Gem Conversations’
ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ප්රමුඛ උත්සවයක් වන ‘Sapphire Night’ මෙවර ද පැවැත්වීමට නියමිතය. ප්‍රදර්ශකයන්, ආරාධිත අමුත්තන් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙනුවෙන් සංවිධානය කෙරෙන එම රාත්‍රියට විලාසිතා, විනෝදාස්වාදය සහ සැමරුම් අංග ඇතුළත් වේ.



මේ අතර, මීට පෙර පැවැත්වූ ‘Power Breakfast for Women’ වැඩසටහනට ලැබුණු ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ‘The Gem Conversations – Stories That Sparkle’ නමින් නව උදෑසන වැඩසටහනක් ද මෙවර හඳුන්වා දී තිබේ.
ආරාධනා ලැබූ පිරිසකට පමණක් සහභාගී විය හැකි මෙම වැඩසටහනේදී මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳ කතාබහ, කාන්තාවන්ගේ අත්දැකීම් සහ නිර්මාණශීලීත්වය සම්බන්ධ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසේ.
“ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ කර්මාන්තය දිගු ගමනක් පැමිණ තිබෙනවා. එයට හිමි විය යුතු වේදිකාව මෙම වැඩසටහන මගින් ලබා දෙනවා” යනුවෙන් ෂෙසාඩ් කරීම් සඳහන් කළේය.
FACETS 2027 සභාපති ෂෙස්මින් මන්සූර් පෙන්වා දෙන්නේ මෙම වැඩසටහන් මගින් ශ්‍රී ලාංකේය දක්ෂතා ජාත්‍යන්තරයට හඳුන්වා දෙන අතරම, ප්රමුඛ ස්වර්ණාභරණ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරන බවයි.
ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් 100කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ලොව පුරා රටවලින් ගැනුම්කරුවන් ද ඊට එක්වීමට නියමිතය. ව්‍යාපාරික අවස්ථා, සබඳතා ගොඩනැගීම, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ද මෙවර ප්‍රදර්ශනයෙන් අවස්ථා සැලසෙනු ඇත.
ප්‍රදර්ශන විස්තර
- දිනය: 2027 ජනවාරි 4–6
- ස්ථානය: Cinnamon Life – City of Dreams, කොළඹ
- සංවිධානය: ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA)
මාධ්‍ය විමසීම්:
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය
දුරකථන: (+94) 112 597226
ජංගම: (+94) 771 881000
විද්‍යුත් තැපෑල: adminslgja@facetssrilanka.com




