
රුපියල් ට්‍රිලිනයකට අධික බදු පොලු තැබූ සියලුම ජාවාරම්කාරයන් වර්තමාන ජනාධිපතිවරයා යටතේ ඉතාම සුරක්ෂිතව සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඒ මහතා මෙම චෝදනාව එල්ල කර ඇත්තේ, මාලිමා ආණ්ඩුව ජාවාරම්කාරයන් මුලිනුපුටා දමන බවට වහසි බස් දෙඩවීම ප්‍රශ්න කරමිනි.
ඒ මහතා සඳහන් කළේ, රුපියල් කෝටියට වඩා බදු නොගෙවූ පුද්ගලයන් 4,570 ක් ද, කෝටි සියයකට වඩා බදු නොගෙවූ පුද්ගලයන් 90 ක් ද සිටින බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම බදු පොලුකාරයන් කිසිවෙකුටත් වර්තමාන ජනාධිපතිවරයා විසින් නඩු පවරා නොමැති බවයි.
හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ආණ්ඩුව නඩු පවරා ඇත්තේ කන්නාඩි කුට්ටම් බෙදා දීම, පත්තර දැන්වීම් පළ කිරීම වැනි සුළු කරුණු සම්බන්ධයෙන් බවයි. එහෙත්, රුපියල් ට්‍රිලියනයකට අධික බදු පොලු තැබූ සියලු දෙනා කිසිදු උපද්‍රවයක් නොමැතිව සිටින බව ඒ මහතා සඳහන් කළේය.
එපමණක් නොව, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රුපියල් බිලියන 700 ක ණය පොලු තැබූ අය ද “ජාවාරම්කාරයන් මර්දනයට ආ ආණ්ඩුව” යටතේ කිසිදු කරදරයක් නැතිව සිටින බව රණවක මහතා අවධාරණය කළේය.




